෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

දඩුබස්නාමානය(තේමා ගීතය)


ගීතයක අරුතට වඩා යමක් එක්කරන්න අද මම හිතුවා. දැන් ලබා දෙන ලිපිය ගැන කියන්න නම් බොහෝ දේ තිබුණත් මේ ගැන කථා කිරීමට අවශ්‍ය නැ කියලයි මගේ අදහස, මොකද අද වන විට මේ ගීතය හා මේ නාට්‍ය ගැන අසා නැති කෙනෙක් නොමැති තරම්...ඉතින් තවත් රසවත් නොකර කියන්නම් ඒ ජයන්ත චන්ද්‍රසිරි නම් අති විශිෂ්ඨ අධ්‍යකෂකවරයාගේ දඩුබස්නාමානය නම් ටෙලි නාට්‍යයයේ තේමා ගීතයයි. ටෙලි නාටකය පිළිබඳ සදහන් කිරීමේ දී ප්‍රධාන චරිත රගපෑ

ශ්‍රියන්ත මෙන්ඩිස්
බුද්ධදාස විතානාරච්චි
කමල් අද්දරආරච්චි
සේනක විජේසිංහ
විශිෂ්ඨ නළුවන් සේම, දමිතා අබේරත්න වැනි විශීෂ්ඨ නිලියන් ගැන මතක් කල යුතුම වෙනවා...ඉතින් තවත් මේ නාට්‍යයේ ජනප්‍රියත්වය වත් එය දිනූ සම්මාන පිළිබඳවත් මා කථා කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නැ.නමුත් මෙහි තේමා ගීතය ගැන ඔබ නොදන්නවා ඇතැයි සැලකෙන දෙයක් සදහන් කරන්නම් මෙම ගීතයේ සංගීත අධ්‍යකෂනය සිදුකර ඇත්තේ අප රට තුල මෙතෙක් බිහිවූ අති දකෂ සංගීත අධ්‍යකෂක වන පේමසිරි කේමදාස මහතායි. ඒ වගේම මෙහි තනුව ගැන යමක් කියනවනම් මේ නිර්මාණය සඳහා ජයන්ත චන්ද්‍රසිරි මහතා මහනුවර ශ්‍රී දළාදා මාළිගයේ රහසිගතව ගායනා කරන කොල්මුර නම් කවි ආස්‍රයෙන් නිවවූ බව සදහන් වෙනවා. මේ තනු නිර්මාණයෙන් පසු මොහුට මේ කවි ඇසීමට ආරාධනා ලැබුනු බවද සඳහන් වෙනවා...කෙසෙ‍් නමුත් අප නොදන්නා මෙවන් නිර්මාණශීලී යමක් ගැබ්ව නැතිනම් මෙතරම් මෙම නිර්මාණය ජනප්‍රිය වීමට ඉඩ නොතිබෙන්නට ඇත.
ඉතින් සුපුරුදු පරිදි තවත් අදහස් හා මේ පිළිබඳ තවත් තොරතුරු ඇත්නම් පැල්පතට රැගෙන එන්න කියල මම ආරාධනා කරනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

"සැදෑ කළුවර"


සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනිවෙලා

වළාකුලකුත් නොමැති අහසේ
මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත - පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර - ජී‍විතේ බර
මගේ හිස මත පරවෙලා...

සැදෑ කළුවර...//


වෙසක් නිවාඩුවෙන් පස්සේ ඔන්න අද තමයි පැල්පත පැත්තේ ආවේ. විරහව සිතට දැනුනු එයින් තනිකමක් දැනුනු කෙනෙකුට දැනෙන හැඟිමක් ගැන කියවෙන මේ ගීතය ඉතාම අපූරුවට ගායනා කරන්නේ විශාරද නන්දා මාලනී මහත්මිය විසිනුයි. මා විසිනුත් ගීතය නිතරම අසා නැතත් හිතට දැනෙන අමුතු රසයක් ඇති ගීතයක් ලෙස හදුන්වන්න පුළුවන්...නමුත් ඉතාම නිවැරදි තේරුමක් මින් ගන්නට කොතෙකුත් උත්සහ කලත් මා හට එය සාර්ථක කරගන්නට නම් හැකි වුනේ නෑ. නමුත් දැනෙන සරලම ආකරයෙන් මෙය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා, ඒත් මේ ලිපිය කියවන ඔබට අඩුපාඩු සහ වෙනත් අදහස් දැනෙන්න පුළුවන් එය ඉදිරිපත් කර අදහස් බෙදාගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ගීතයේ මුල් පද හ‍තරේදීම හා අන්තරා කොටසට පිවිසෙත්ම ගීතයේ අර්ථය පිළිබඳ පෙර කී විරහව දැනුනත් ඉන් විරහව විදිනවාට වඩා ඔහුට ඇය හෝ ඇයට ඔහු හිමි වී සිටි ආකාරය සහ මෙහි පවසන
"ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි..."
යන පද පේලි හා අවසානය මට නම් තවමත් ප්‍රශ්නාර්ථයක්ම පමණයි....


::::ගීතය මෙතනින් බාගන්න::::

"ඔබ මා හමුවේනම්"


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ...
මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
එකම කතාවක් - යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් - මුවේ පිපේ නම්
එකම සිනාවක් - යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//


"විරහව" තමන්ගේ ආදරය අවසන්ව කෙතරම් කලක් ගතවී තිබුනත් තවමත් සිතින් ඒ විරහව විදින ඒ ගැන පසුතැවෙන පෙම්වතෙක් ගැන පවසන මේ ගීතය මා වඩා ප්‍රියකරන ජගත් වික්‍රමසිංහ මහත්මයාගේ තවත් හදවතට දැනෙන ගීතයක් වෙනවා. ගීතය ගැන අත්දැකිම් මා හට නැතත් අප විසින් අමතක කරන ලද ප්‍රථම ප්‍රේමයක් අපි හැමෝගෙම සිත්තුල තවමත් අනවසරයෙන් රජකරනවා කියලයි මගේ මතය...

කෙසේ නමුත් සිත් පුරා ආදරය කල පෙම්වතිය අද තමා ලග නොමැති බව සත්සුදක් සේ දන්නා පෙම්වතා ඔහුගේ අහිංසක බලාපොරොත්තුව මෙසේ හැඟුම්බරව ඉදිරිපත් කරයි...අමතක කල නොහැකි ඒ අතීතයට නැවත පියමන් කල නොහැකි බවත්, ඇගේ සිනා පිරිනු නෙතු නැවත දැකගත නොහැකි බව දන්නා පෙම්වතා "එකම කතාවක් - එකම සිනාවක්" යලිත් බලාපොරොත්තු වන්නේ ඉතාම දුක්බර ලෙසයි...ආදරය හා විරහව සමව විදි පැල්පතේ සහෝදර සහෝදරියන්ට මේ ගීතය පිළිබඳ සිතට දැනෙන දේ ඉදිරිපත් කරන්න මගෙන් ආරාධනා...!


විදින්න නොව දැනෙන්න හා ඉන් මිදෙන්න, මේ ගීය මගේම සහෝදර "සයිL3න්ටි[කිL3ර්]"ට.........!!!


::::ගීතය මෙතනින් බාගන්න::::

"මහ වරුසාවට"


මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//


එතරම් ජනප්‍රිය‍ නොවුනත් ගීත අතලොස්සක් පමණක් ගායනා කරල තියෙන සෝමතිලක ජයමහ මහත්මයාගේ "මහවරුසාවට" නම් ගීතය ඒ ගී අතරින් විශේෂ වෙන්න පෞද්ගලිකව මට හේතු නැතිවාම නෙමෙයි...ආදරය කරන පෙම්වතුන් බොහෝදෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති කියල අවිවාදයෙන් තොරව මම කියනවා...කෙතරම් ආදරය, සෙනෙහස පෙම්වතියට ලැබුනත් පෙම්වතා සමඟ නෝක්කාඩුවීමේ අඩුවක් නම් පෙම්වතියකගෙන් කිසිදා බලාපොරොත්තු නොවිය යුතු දෙයක් කියලයි මගේ මතය...ඉතින් ගීතයේ මුල් පද හතරේදීම අපට හැඟෙන්නේ තමා ආදරය කරන යුවතිය තමා සමග අමනාප වී ඇති අවස්ථාවක, ඇගේ රුව ගැන වර්ණනා කර ඒ අමනාපයෙන් මිදෙන්න දරණ වෑයමක් ගැනයි. සැබැවින්ම එය බොරු ආටෝපයක් පමණක් නොව ඇය සැබවින්ම තමන්ට වටින බව එතැන් සිට මුළු ගීතය පුරාම හදුන්වාදෙයි...
පෙම්වතියට සියල්ල අමතක වීමට, තමන්ගේ ප්‍රේමකතාවේ අතීතයට ඇයව ගෙන යන පෙම්වතා එහි රසමුසු තැන් ගැන සහ මෙතෙක් කල් ආද‍රයෙන් වෙලී සිටි ආකාරය සිතුවමක් ලෙස පෙම්වතියට මතක් කර දෙයි...ඒ ඔහුන් මුනගැසුනු ඇල දොල ගැන සහ ඇය එන තුරු මඟ බලා සිටි ආකාරය මනාව මතක් කර දෙයි. එසේම එකල බැදුනු ප්‍රේමය අද වන විට තවත් වැඩි වී ඇති බව පෙන්වීමට ගීතය අපූරු පද කිහිපයක් අලංකාර කර ඇත එනම්,
"ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි.."
‍කෙසේ වුවත් ගෙවුනු කාලයේ සෑම පෙම්වතුන් යුවලකටම සේම මොවුන්ටද විටින් විට ඇතිවූ සැක-බිය දුක ගැනත් නොහැගෙන ලෙස දක්වා තිබෙනවා. කෙසේ වෙතත් සියළු දේ මැද ඔහුන්ගේ "පිවිතුරු සෙනෙහස අද උතුරයි..."

ඉතින් මේ ලිපියේ විශේෂ දෙයක් කියන්න තියෙනවා. කලින් වගේම ගායනය පමණක් හරි හැටි දන්නා හින්දා ඒ පිළිබඳ ලි‍පියේ සදහන් කලා. ගීතය ගැන තොරතුරු දන්නවානම් සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා. ලිපියේ විශේෂ ස්තූතිය "කට්ටා" සහෝදරයට පිරිනැමෙන්න ඕනෙ කියල මම හිතනවා. මතකයෙන් ටිකක් ඈතට ගිය මේ ගීතය නැවත මතක් කර දීම පිළිබඳ ඔහුට විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.



::::ගීතය මෙතනින් බාගන්න::::

"මුතු කුඩ ඉහලන"



මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස පියා ඉගිලී

අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ...

මුතු කුඩ ඉහලන...//



නිතර අහන්න නොලැබෙන එහෙත් ඇසූ අයගේ මුවින් නොගිලිහෙන මේ ගීතය රෝහණ වීරසිංහ මහතමයාගේ තවත් අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මේ ගීතය රසවීදීමේදී මැවෙන සිතුවමට කාටත් වඩා සෙන්කඩගල කන්ද උඩරට අයට විශේෂ‍ වෙනවා කියලයි මගේ හැඟීම. හොදම උදාහරණය මේ ලිපිය ලියන මමත් මහනුවර ම වීමයි. ඉතින් ගීතය ගැන විචාර, අර්තකතන බොහොමයක් මේ වෙනකොට බිහිවෙලා තිබුනත් පෞද්ගලික මගේ අදහස නම් ටිකක් වෙනස්, ගීතය ගැන ලියන්න කලින් මා සමඟ මේ ගීතය ගැන අදහස් කියූ සෑම දෙනාටම ස්තූති වන්ත වෙනවා. ‍ඒ බොහෝ දෙනෙක් අදටත් පැල්පතට ගොඩ වැදිල යන අය...
පෞද්ගලිකව මෙවන් අත්දැකීමක් නැතත් ගීතයේ මැවෙන රූපය සිතේ මැවෙන ආකාරය ඉතාම හැඟුම්බරයි. වළාකුලින් බරව මහ වැස්සක ලකුණු පෙන්වන මොහොතක ඔහු දකින එක් දසුනක් නිසා ඔහුගේ සිත දුක්මුසු අතීතයකට පිය මනින බවක් ගීතයෙන් අඟවනවා. ඒ ඔහු ආදරය කල යුවතිය තමා අසලින් ‍රථයක නැගී ගමන් කරන දසුනයි. ‍ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම මොවුන‍් පෙම්වතුන්සේ ගෙවුනු අතීතය මැනවින් පැහැදිලි කරන අතර ඒ සමගම ඔහුන් දෙදෙනා අද වනවිට ප්‍රේමය අවසන්ව මාවත් දෙකකට පිවිස ඇති බව පවසයි. ගීතයේ අවසානයේ දී එනම්

"රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ..."

යන පද පේලි වලදී මා හට හැඟීයන්නේ පෙම්වතාට දුකක් දැනුන මුත්, පෙම්වතියට එවන් පසුතැවිල්ලක් නොහැගෙන ලෙස ඉන්නා බවයි. එය රිය ඇතුලේ උණුසුම විදින පෙම්වතිය හා එම රිය පාරේ ගමන් කරන විට මහමඟ ඇති මඩ වතුරෙන් නැහැවීයන මෙම පුද්ගලාගෙනුත් අර්ථවත් කරයි. නමුත් පෙම්වතා සිදුවූ සියල්ල අමතක කීරීමට තමාගේ සිත නොරිදුනු බව අවසන් පද පේලි දෙකෙන් කීමට උත්සහ කරයි...නමුත් එය හුදු මුලාවක්ම පමණක් බව ඔහුට මෙන්ම අපට ද හැඟීයයි...




::::ගීතය මෙතනින් බාගන්න::::


::::ගීතයේ කෝඩ් මෙතනින් බාගන්න::::

"සඳ කැන් වැටිලා"



සඳ කැන් වැටිලා අදුරේ එතිලා
ඝණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි...

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....

සඳ කැන් වැටිලා...

‍මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන හිදිමි බලා...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...

සඳ කැන් වැටිලා...


හොදයි පැල්පතට එකතු වුන අළුත් "කාමරයෙන්" මෙන්න පළවෙනි ලිපිය...
මුල්ම ගීතය විදියට මම තෝරගත්තේ විශාරද වික්ටර් රත්නායක මහත්මයගේ "සඳ කැන් වැටිලා" කියන ගීතය. ඇත්තටම ගීතය තෝරගන්න හේතු වුනේ මේ ගීතයේ තියෙන අර්ථයට හා සංගීතයටයි. ගීතය ගැන සරල අදහසක් මට දැනෙන විදියට ඔයාලට දෙන්න හිතුවා ඒත් අඩුපාඩු හා තවත් මෙයට එකතු වෙන්න ඕනෙ දේවල් තියෙනවනම් එකතු කරන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
"සඳ කැන් වැටිලා අදුරේ එතිලා - ඝණදුරු රෑ තනිකම නෑ" ඉතාම සරලව කිව්වොත් මෙයින් අපට මැවෙන රූපය නම් විශිෂ්ඨයි. රාත්‍රියේ සදේ එලිය වැටී ඒ එලිය අදුරත් එක්ක මුසුවෙලා හිතට තනිකමක් දැනෙන වෙලාවක, ඒ ඝණදුරු රාත්‍රිය කිසිම තනිකමක් නැති බව අගවනවා. එයිනුත් පසුව ඒ තනිකම නැතිවෙන්න, ඒ ඝණදුර නැතිවෙන්න නම් ඔහුගේ ජීවිතයට එළිය වුනු කෙනෙකුට ආරාධනාවක් කරනවා. නමුත් ඒ ආරාධනාව පිළිගනීද...?
ගීතයේ අන්තරා කොටසට පිවිසෙන කොට ගීතය රසවිදින අපට එහි අර්ථය මනාව පැහැදිලි වෙනවා...‍එය පෞද්ගලිකව මම මේ ගීතයේ ඉතාම ප්‍රිය කරන කොටසක් ද වෙනවා. තමන් ජීවිතයේ හදවතින්ම ආදරය කරන කෙනාගේ සිදුවන යම් වෙනස් වීමක් ගැන ඉතාම හැඟුම්බරව මෙයින් කියා සිටිනවා...එනම් මේ ලොව මාහට හිමි එහෙත් ඈට අයිති ඈගේ නෙත් වෙනත් කෙනෙකු, අසල්වාසියෙකු සොයනු ඇතැයි පැවසෙනවා...මෙම අදහස ගීතයට එක් කර ඇති අයුරු නම් විශිෂ්ඨයි...

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ..."

මෙවන් අත්දෑකිමක් නැතත් ඉතාම හොදින් සංගීතයත් සමග මේ ගීය රසවිදින්න පුළුවන් කියලයි ‍මගේ අදහස. ‍ඉතාම කෙටියෙන් සරලව මගේ ඇති අවම දැනුමෙන් මේ ගීතය ගැන කෙටි අදහසක් තමයි මේ විදියට ඔයාලට ලබා දුන්නේ. ඉතින් විචාරයක් ඉදිරිපත් කිරීම විවෘත හින්දා හැමෝටම ආරාධනා කරනවා අදහසක් දක්වන්න කියලා...

2010-11-26
ගීතය ඉදිරිපත් කර හරියටම 6 මසකට පසු නැවත නිවැරදිව සංශෝදනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මා ගීතය ඉදිරිපත් කර පසුව එහි සංගීතය හා පද රචනාව සිදුකල ශිල්පීන් පිළිබඳ සහෘද්ධ ඔබගෙන් ඉල්ලා සිටියා. ඉතින් වියත් ඔබගේ අදහස් වලින් ලිපිය සැකසීමේ දී මාහට සහය දැක්වූ ආගන්තුකයා ඇතුළු මාගේ සහෝදර අනෙක් ‍බ්ලොග් කරුවන්නට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

::::ගීතය මෙතනින් බාගන්න::::
::::ගීතයේ කෝඩ් මෙතනින් බාගන්න::::