෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

ඔබ නැතුව ඔබ එක්ක (with u without u)

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...


සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි..
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ..


රුවක් ඇදෙනවා...//

 
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

 

රුවක් ඇදෙනවා...//

පැයෙන් පැය, දිනෙන් දින, වසරින් වසර ගෙවී අළුත් වූ තවත් දවසක පරණ සුපුරුදු මිහිරි නිවහනට නැවත ගොඩවැදුම හරියට මට දැනෙන්නේ මහ ගෙදරින් විරසක වී නගරය බලා ගිය කෙනෙකු නැවත ගමේ ගෙදරට ගොඩවදින්නාක් මෙන් හැඟීමක්...
අමුතු මිහිරි වරදකාරී හැඟීමක් හිතට දැනේ. එහෙත් මා දැන් ගෙදර පැමිණ ඇත. මා නිවසට පිළිගන්නේද? මා එළවන්නේ ද? 

යන වග තීරණය කරන්නේ මාගේ නෑදෑයන්ය. එනම් ඒ ඔබයි..
කරන ලද වරදට සමාවක්වත් ඒ පිළිබද මතක් කිරීමට වත් මා සුදුසු නොවේ.. එකල බ්ලොග් අඩවි යනු අපි අපේ හිත්වල අවංක සටහන් ලියා තැබූ, ප්‍රසිද්ධියේ කිව නොහැකි හිත් යට හැඟීම් කියා පෑ ඩිජිටල් පත්ඉරුවකි... නමුත් එයින් නික්ම ගියේ ක්ලික් කරන පමාවට මුදල් සෙවූ, බ්ලොග් සම්මාන පසුපස කෑ ගසා එලවූ කාලයක් එලඹුනු බැවිනි..(නමුත් මේ සියල්ල නිදහසට කාරණා නොවන වග මගේ හිත අවලාද නගයි..)

තකහනියේ ගොඩ වුනේ හිතින් යම් කාලයක දුක් දෝමනස්සයන්, ආදරය, විරහව හෙලිකල තැන මකුළු දැල් කඩා පිළිසකල කල යුතුය යන හැඟීම දැනුනු නිසාමයි. එකල මා නම්, සරල එහෙත් හදවතින්ම ආදරය කල සොඳුරු ආදරවන්තයෙක් විය. නමුත් අද මා, වසර 9ක් මාස 4ක් සහ දින දෙකක් කල ආදරයේ උපරිම ඵලය නෙලාගත් සය මසක “සැමියෙකි..“ ඇය මේ මොහොතෙත් මා තුරුලේය..
කිසිදිනක නොකියූ පෞද්ගලික අදහසක් එක් කලේ අප පැල්පතේ නෑදයින් හට සහ විශේෂයෙන් මගේ සහෝදර “අමිලයා“  හෝ සැබවින් මා හට මුණනොගැසෙන නිසාමයි. නමුත් ඔහුගේ දිවියේ දුක් හෝ සතුටු අවස්ථා අහම්බයෙන් හෝ ඉන් දින කීපයට පෙර මා හට අසන්නට ලැබේ. ඒ විශ්මය මෑතකදීත් මා අත්විදිමි.

ඔව් අද මාගේ ගීය..
අද මාගේ ගීය යම් ජීවන අත්දැකීමකට සමාන කිරීම උදෙසා එම අවස්ථාව විදීමට ඔහු හා එක්වීමට ගත් එක් උත්සහයක් පමණි.. ගීතය විශාරද ගුණදාස කපුගේ ශූරීන් හා කරුණාරත්න දිවුල්ගනේ ශූරීන් විසින් එක්ව ගායනා කරන “රුවක් ඇදෙනවා“ ගීතය.. මේ සිංහල ගී ඉතිහාසයේ මුල්ම පිරිමි යුග ගී අතරට එකතුවන ගීතයක් බව අප කවුරුත් දනී...අතිශය පිරිමි කටහඬක් හිමි පිරිමින් බෙහෙවින් ඇළුම් කරන විශාරද කපුගේ ශූරීන්ද මනා හික්මීමකින් විරහ වේදනාව ගැන හදරැදි ගී රැසක් මුමුණන දිවුල්ගනේ ශූරීන් ද ගීය අලංකාර කර අයුරු ඉස්තරම්ය..

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ...


මා පෞද්ගලිකව ගී වලට ඇළුම් කිරීමට පෙළඹුනේ සමහර ගී වල ඇති රූපක ස්වරූපය නිසාමයි.. ඉතින් මාගේ කතා නායකයා සහ මා සමඟ ඇතිවන දෙබසක් උපමා කිරීමට කදිම ගී පද මාලාවක් මෙම ගීය තුල ගැබ්ව ඇත..
ගීය වචනයෙන් වචනය විස්තර කීරීමට මා උත්සුක වන්නේ නැත..
ජීවිතයේ උඹට, මට අප හැමෝටම මඟහැරුනු තැන්, වැරදි අඩුපාඩු, අත්වැරදීම් විශාල ප්‍රමාණයක් ඇත ඒවා මතක් වන විටත් ඉතා වේදනාකාරී වේ..
නමුත් කාලයක් ගතවන විට, අත්වැරදීම් වල එකතුව “අත්දැකීම්“ ලෙස හදුන්වන අතර අත්දැකීම් අප ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යනවා නොඅනුමානය..


මඟහැරුනු ජීවිතයේ උඹට, මට සරලව එරන්දි ඉරේකා තිරාණගම විසින් ලියූ කවිපේලි කිහිපයක් මෙසේ අමුණන්න කැමතියි..

සීත කාමරේ කැරකෙනා පුටුව මත
ඔයා රජවුණු දවසෙ
මං ඇඬුවෙ සතුටට
උජාරුවකුත් නොතිබුනාම නොවෙයි
කදුළු අතර අතරින් පතර.....

කවිකමට බැඳිලා බහදුන්නේ මං එදා
ජීවිතේ කවියක්ම වේවිනේ කියලා
පස්සෙ දවසක හිතුනොතින් තනුවක් හදලා
ගීතෙකුත් කරනවා කියලා.........

රජවෙන්න ඔයා තතනන දවස්වල
කොන්ක්‍රිට් වදුලු මත කලබලෙන් ඇවිදිද්දි
වැටුණා නේද බිමට නුඹේ කවි සිත
පස්සෙ ඇහිදිනවා යැයි නුඹ කියූ කවි සිත

ආපහු හැරෙන්න බැරි තරමට
ඔයාට වැඩ හින්දා
මං හැරෙන්නම් රත්තරං
දෝතින් ඇහිඳන් එන්න
මග හැරුණු මග හැලුනු ජීවිතය..

දස දහස් මිනිසුන්ගේ
දෙපා යට පෑගෙමින්
මියැදෙමින් තිබෙන ඔබේ
කවිකාර හිත් මැනික
අහුලන්න මං මාන බලනවා.....
මිනිස් හෙවනැලි මාව වහනවා......


මෙවන් කවියකට සමානව “සංගීතකරු මැරිල“ නමින් පද පේලි කිහිපයක් ඇමිණුවෙත් මේ නිසාම බැව් මා දනී..නමුත් එම දිවිය ගෙවූ කාලය ඒ නිදහස් ආදරණීය කලාකරු අප යටි හිතේ තවමත් සිටී..එකම දේ ඔහුට අවදිවීමට අප ඉඩ නොදීමයි..
උඹ ගැන කතාකිරීමට මේ පොඩි ලිපිය ප්‍රමාණවත් නොවන බව මා හොදින් දනී..නමුත් උඹට උපදෙස් දීමට තරම් විරහව පිළිබඳ මට අදහසක් නැත, නමුත් ගෙවුනු වසර කිහිපයේ මගේ මිතුරන්ගේ අත්දැකීම් නිසාම යම් අදහසක් හෙවත් ඉන් රසිකත්වයක් මට ඇතැයි සිතමි..ඉතින් නිදහස් වෙලාවක මෙය දුටු විටක කවියකින්, පද හතරකින්වත් අවම පිළිතුරක් ලැබේ යයි සිතමි..


ජීවිතයේ අහිමි වූ සියල්ල වෙනුවෙන් යමක් උඹට ලැබී ඇත...
ජීවිතයේ හිමිවූ සියල්ල වෙනුවෙන් යමක්
උඹට අහිමිවී ඇත...
වැදගත් වන්නේ ඔබ ජීවිතය දකින ආකාරයයි..
එක්කෝ
උඹට සතුටුවිය හැක..
නැතහොත්
උඹට දුක්විය හැක..


 

~අමිLaයා~ ගෙන් සටහනක්...!

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.." එහෙමත් නැත්නම් අපේ පැල්පතට ගොඩ උනේ ගොඩක් කලෙකින්. මකුලු දැල් බැඳිල...! දැක්කාම දුකේ බෑ. මට පේන්නෙ මගේ සගය ~RaසිකyA~ ත් ළඟකදි පැල්පතට ගොඩ වෙලා නෑ වගේ. වැඩ රාජකාරි වැඩි වෙලා නිදහස අඩු වෙලා අපි දෙන්නගෙම. ඒ උනත් යන එන ගමන් පැල්පතට ගොඩ වෙලා යන අපේ නෑදෑයො පිරිසක් තාමත් ඉන්නව. ඒ හැමෝටම ගොඩක් ස්තූතී කරනව වගේම සමාව ඉල්ලනව ඔයාලගෙ රසවින්දනයට ගොඩ කලෙකින් අලුතින් දෙයක් එක් කරන්න බැරි වීම සම්භන්ධයෙන්.

තවත් දෙයක් තියනව කියන්න, "අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.." එහෙමත් නැත්නම් අපේ පැල්පත අරම්භ කරල වසර 5ක් ගත වෙලා. මේ වෙනකම් අපිත් එක්ක රැඳිල පැල්පත සහයෝගය දුන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියට ඊටත් වඩා වැඩි සහයෝගයක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.

මෙතෙක් කල් අපිත් සමග රැඳිල හිටපු සහ අලුතින් අපිත් එක්ක එකතු වෙන ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියනව කරන්න. පැල්පතට ගැන පුංචි අදහසක් පල කරල යන්න අමතක කරන්න එපා...!
ස්තූතියි...!

අවාරය...!

සංගීතකරු මැරිල...!

වැයූ තත් හය නිහඬ වී...
හිඳී මුල්ලක කිලුටු වී...
තත් වැයූ අත් පලුදු වී...
යතුරු පුවරුව මතට වී...


ලියූ කවි පද නිහඬ වී...
සිනාසෙයි මට උඬගු වී...
කවි ලියූ කොළ රුදුරු වී...
ඉල්ලයි මගෙන් උත්තර හරී...


නොදුන්නොත් උත්තර හරී...
කෙළ වෙනව මේ පාරත් money...
අරන් degreeය බී Sc...
අපි කරමු music මගෙ honey...


ලිව්වේ - අමිLaයා

රුවල් ඉරීගිය නෞකාවේ..


රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ...

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

රුවල් ඉරී ගිය...//


දින ගණනකින් හදවතේ රැන්දූ ගීයක් පැල්පතට ගොඩවී විදගැනීමට අවස්ථාවක් සැලසීමට නොහැකිවීම පිළිබඳ සමාව ඉල්ලා සිටිනවා. වැඩ අධික බව නිසාමත් තවත් කුමන හෝ හේතුවක් හෝ නිසාත් බ්ලොග් අඩවි ගැන පෙර තිබුනු රසසාස්වාදය ගිලිහී ඇති බවක් හැගෙනවා. නමුත් මුල් අවධියට වඩා බ්ලොග් අඩවිවල නම් අඩුවක් වී නැත. එතරම් අඩවි තිබුනත් පෙරසේ හිත් ඇද බැදගැනීමට නොහැක්කේ මන්ද.?ඔහුන් මේ බ්ලොග් හරහා සොයන්නේ මොනවාද...?බ්ලොග් අඩවි සම්මානයක්, නැතහොත් ජනප්‍රිය බ්ලොග් අඩවියක අයිති කරුවෙකු වීම එසේත් නැතහොත් ක්ලික් කරන පමාවට ඩොලර් උපයාගැනීමක්ද...?
හිතට දැනුනු කෙටි ප්‍රශ්නයක් සමගින් ආරම්භ වීමට සිදුවීම ගීය ගැන සිතීමට එය බාධාවක් සේ හැගේ නම් මදකට ‍එයට තිත තබන්න. ගීය විශාරද නන්දා මාලිනියන්ගේ "රුවල් ඉරීගිය ‍නෞකාවයි" මේ ගැන කතාකිරීමට මා හේතු කරගත්තේ මා අතිශය ප්‍රියකරන කටහඩක් හිමි නන්දා මාලිනියන්ගේ ගීයක් නිසාම නොවේ. ඇගේ අනෙකුත් ගී මෙන් නොව මේ ගීය පිළිබඳ සිතත්දී මුලින් හැගෙන බිදී ගිය ආදරයක් හෝ අඹුසැමි යුවලක් අතර වෙන්වීමක් සනිටහන් වන දෙයක්ද යන්න දෙගිඩියාවක් පැවතිනි.
නමුත් ගීතයේ රචකයා වූ නන්දා මාලිනියන්ට වැඩිපුර ගී ලියා දුන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පිළිබඳ හා ගීය බිහිවූ යුගය ගැන සලකා බැලීමේදී ගීයේ විචාරය මෙසේද ඉදිරිපත්කල හැක.,මුල්පද පෙලේ කියැවෙන රුවල් ඉරීගිය නෞකාව‍ ලෙස එකල රට තුල පැවති විප්ලවකාරී කණ්ඩායම් පිළිබද කියැවෙන බවක් හැගේ. එමෙන්ම මේ ගීයේ රැදුනු සගයන් පිරිසක් තම නියමුවා එසේත් නැතිනම් තම නායකතුමාට පවසන දෙයක් සේ හැගී යයි. එ‍හිදී ගීය රසවිදින ප්‍රේකෂකයින් හට එම විප්ලවකාරී සමාජය තුල තම නායකයා කෙරෙහි හා නායකතුමා ඔහුන් කෙරේ ඇතිකර තිබූ දැඩි බැදීම පිළිබද ඉතා පැහැදිලිව පවසයි. එනම් ඔහුන් තම ජීවිතය පවා ඒ වෙනුවෙන් යොමුකරනු ඇතැයි හැගේ...

දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම

මෙසේ අන්තරා කොටස ගායනා කරන විට ‍අපට හැගෙන්නේ, මෙතෙක් කාලයක් තම කණ්ඩායම මැඩලීමට උත්සහ දරණ විට තම කණ්ඩා‍යමේ ප්‍රභලයන් ඔහුන්ට හසුවී විනාශ වී යන මොහොතක තවමත් අප සමග රැදී වුන් ඔබ, එනම් අපේ නියමුවානනි, දැන් ඔබට පිටව යන්නට අවස්ථාව එළඹ ඇත. අප ගැන නොසිතන්න..

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි‍
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

නැවතත් ගීයේ අවසානයට එළබෙන විට මෙතෙක් ගීයෙන් අර්ථවත් වූයේ මෙය පවසන්නේ කණ්ඩා‍යමේ සාමාජිකයෙක් ලෙස හැගුනත්, දැන් මෙම අවස්ථාවේ පවසන "හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස "ලෙස මා නමින් අර්ථවත් කරනුයේ මේ විප්ලවවාදී කණ්ඩායම දැයි මට හැගේ.
කෙසේ වෙතත් අතිවිශිෂ්ඨ ගීයක අර්ථරසය පිළිබඳ කෙටි අදහසක් මට හැගෙන පරිදි ලබාදීමට හැකිවුනා යැයි මට හැගේ., ඉතින් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා පැල්පතේ මාගේ සහෘද්යින්ගෙන් මාහට මෙන්ම ඔබටත් හැගීයන යම් අදහසක් ගීය පිළිබද ඇත්නම් ඉදිරිපත් කරන ලෙස...


:::ගීතය මෙතැනින් බාගන්න:::

ගැබ්බර වූ සිහිනය...!


ගැබ්බර වූ සිහිනයේ...
විළි රුදාව...
දරාගෙන...
කල්පයක්,
ආ ගමන...
අදින් අවසන් වුවත්...

පවුරු බැමි බිඳ හෙලා...
දරු උපත විඳ දරා...
දෝතින්ම නුඹ හොවා,
ගන්නට...
ආසයි මට....!

"මේ නගරය..."


මේ නගරය මා ඔබ
මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුනු නගරයයි...//

වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

මේ නගරය...//

ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...

මේ නගරය...//



විශාල වැඩ අධික කාලයකට පසු පැල්පතට ගීයක් ගෙන ඒමට ප්‍රධාන හේතු කිහිපයක්ම යෙදුනා. ඉතින් ඒ හේතූන් සියල්ලන්නටම සරිලන, මෑතකදී අප අතරින් වියෝවූ අසාහය ගායන ශිල්පී මර්වින් පෙරේ‍රා මහතානන්ගේ ගීතයක් මෙසේ ඉදිරිපත් කිරීමට මා තීරණය කලා.
ගීයේ ආරම්භයෙන්ම මුණ ගැසීමක් හා ඉතා දුක්බර සමුගැනීමක් පිළිබඳ ඔහුන් හමුවූ නගරයක් සම්බන්ධ කරමින් අලංකාරව ඉදිරිපත් කරනවා. එමගින් මා හා ඔබ යනුවෙන් ආදරවන්තයින් දෙදෙනෙකුගේ හමුවීමක් හා වෙන්වීමක් ලෙස ශ්‍රාවක අප‍ට හැගෙන සේ පද රචනයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් පෙර මා විසින් සදහන් කරන ලද හේතූන් එකකට මෙම පද පේලී දෙක ගැලපෙන ආකාරය ගැන ඉදිරිපත් කිරීමටයි මේ සූදානම...
"වසරක පමණ කාලයක සිට අපට පිටස්තර වූ නගරයක, අප විසින් ඉගැන්වූ අපෙන් ඉගෙනුම ලත් දරුවන් පිරිසක් අද දවස වන විට ඔහුන්ගේ පාඨමාලා කාලය සාර්ථකව අවසන් කර විසිර යනවා. එය ඇඳුරුතුමෙකු ලෙස හදවතින්ම සංතෝෂ විය හැකි අවස්ථාවක් වුවත් ඔහුන් සමග ‍සහෝදරත්වයෙන් මිතුරුදමින් මෙන්ම ගුරුවරුන් ලෙස රැදී සිටි අපට ශෝකය මුසු සතුටු කදුලු වැගිරෙන මොහොතක් වූ බව කිවයුතුමයි. නමුත් ඒ හමුවීම ඔහුන්ගේ ජීවිතය සාර්ථකව වෙනස් වීමකට ලක් වූ බව ඔහුන් අවංකව පවසන්නේ නම් හා ඒ බව ඔහුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර අපට පෙන්ව‍න්නේ නම්, එය ඔහුන්ගෙන් ගුරු-ඇඳුරන් වූ අපට ලැබෙන තුටු පඬුරක් වනු නොඅනුමානයි..
මෙම මුණගැසීමත් සමුගැනීමත් හදවතට දැනුනු අවස්ථාවක් වූ බැවින්, පෙර කී සතුට මුසු ශෝකය හා හදවතින් අප පතනා වූ ඔහුන්ගේ අනාගතයට කරන සුභ පැතීම නැවත සිදුකරවීම සඳහා මාගේ පැල්පතේ මේ පුංචි ඉඩකඩ ‍ඔහුන් වෙනුවෙන් යොදාගන්නවා..."

ගීයෙන් පිටස්තර වූ පෞද්ගලික අදහසක් ‍පැල්පත වෙනුවෙන් මා හා ගලපා පැවසීම පිළිබද සමාව අයදින අතර ගීයක සැබෑ අරුථ කුමක් වුවත් යම් යම් පද පේලී තමාගේ ජීවිතයේ කිසියම් පරිඡේදයක් සදහා මනා ලෙස ගැලපෙන බවට හොදම උදාහරණයක් පෙන්වීමට හැකිවීම පිළිබද සතුටත් ඇතිවෙනවා. සැබැවින්ම එය ඔබටත් එසේම වනු ඇතැයි මා විශ්වාස කරනවා.

ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම සරසවි බිමකට අධ්‍යාපනය පැමිණි දෙදෙනෙකුගේ ආදරයක් හැගවෙන බව ගීත අසන්නන් හට ඒත්තු ගන්වා තිබෙනවා. ඒ පදවලින් මා හට හැගී යන්නේ එය පේරාදෙණිය සරසවියේ හෝ රජරට විශ්ව විද්‍යාලයේ සිදුවීමක් බවයි.
අන්තරා කොටස අවසාන වනවිට සමස්ත ගීතය පුරාම ඇදී යන්නේ අතීතයේ සිදුවූ සිදුවීමක් බව හැගී යන අතර එයට නිදසුන් ලෙස නුග ගස් පෙල තවමත් එලෙසම පවතින බවත් ඇයත් සමග සක්මන් කල මංමාවත් තුල තමන්ට අද මෙසේ යාමට සිදූවූ බවත් ගීය තුලින් හුවා දක්වා තිබෙනවා. නමුත් ඒ අතීතය සිහිනයක් දෝ යැයි අවසන් පදපේලිය තුලින් රචකයා විසින් දක්වා ඇත්තේ නැවත ආපසු යා නොහැකි ඒ අතීතය පිළිබද යලි සිහිගැන්වීමත් දුකක් වූ ලෙසනි...


:::ගීතය මෙතැනින් බාගන්න:::

...පෙ‍ම්වති‍‍යට...

"එදා මෙදා තුර..."


එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

එදා මෙදා තුර...//

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

එදා මෙදා තුර...//


සුභ දවසක් වේවා කියල වෙනදා වගේම පැල්පතට ගොඩ වදින්න සිතුවත් මොකක්දෝ අමුත්තක් හිතට දැනෙනවා හරියට ලොකු වරදක් කරලා සැඟවුනු කෙනෙක්, එලියට එනව වගේ...නැහැ කවදාවත් නැ..."පැල්පත" අමතක කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැ...!
දුකක්, විරහවක්, හිත කීරී ගැහෙන හැඟීමක් එක්ක කියවෙන සනත් නන්දසිරි මහත්ම‍යගේ මේ ගීතයට ඇත්තටම මා නම් අකමැතියි...ඒ ඇත්ත තිත්තයි කියන වදන නිසාම විය යුතුයි. සැබවින්ම ගීතය කෙතරම් සිතට දැනෙනවාද කිවතොත්, ගීතය දිනකට එක්වරක් හෝ ඇසුනොත් මුළු දිනය පුරාම අක‍මැත්තෙන් වුවත් ගීතය මුවේ මිමිණේ. ඒ බව ගීතය රස විදි ඔබටත් හැඟී ඇතැයි මා විශ්වාස කරමි. ගීතයේ අරුත පිළිබඳ මා පැහැදිලි නොකලත් ගීතයට සවන් දෙන ඕනෑම කෙනෙකුට අමුතු දුක්බර හැඟීමක් දැනෙන මේ ගීතය මා ඇසූ විදි වෙනත් ගීත වලට වඩා හාත්පසින්ම වෙනස් වූවක්.
සිතට දැනෙන ප්‍රේමය හෝ සිතේ ඇතිවන අවංක ආදරය අප වෙත ලබාගැනීමට අප නොයෙකුත් උපක්‍රම යොදයි. එසේ ලබාගත් ආදරය, රදවා තුරුල් කරගන්නට අප තවත් උපක්‍රම යොදයි. තවත් මොහොතක එවන් ආදරයක් විරහවක් වූ විට, නැතිනම් ඇය හෝ ඔහු වෙන්ව ගිය විට ගෙන්වා ගැනීමට තවත් සමහර ක්‍රම යොදයි....එසේ වන්නේ මේ සෑම මොහොතකම ඇය හෝ ඔහු කෙරෙහි කුමන ආකාරයෙන් හෝ බලාපොරොත්තුවක් තම සිතතුල ඇති වන නිසාම වියයුතුයි. නමුත්, උපරිම ප්‍රේමයෙන්, ආදරයෙන් වෙලී සිටි ‍දෙදෙනෙකුගෙන් අයෙක් දිවියෙන් සමුගතහොත්....,
නැත උපක්‍රම, පිළියම් කිසිවක් නැත...!
විමල් ජයශාන්තයන්ගේ පද රචනයට විශාරද සනත් නන්දසිරියන්ගේ හඬින් රසවත් වුනු මේ ගීතය පැල්පතට එක් කිරීමට මා හට ප්‍රධාන හේතුව වූයේ මා සමඟින් එකට අධ්‍යාපනය හැදෑරූ මගේම මිතුරෙකුට මුහුණ දීමට සිදුවූ මෙවන්ම සිදුවීමක් නිසායි. හෙට දින ‍හෝ මතු උපදින ආත්මයක මෙවන් සිද්ධීන් ඇසීමටවත් ඉඩ ‍‍නොලැබේවායි මගේ ප්‍රාර්ථනය...
ඒ වගේම ගීතය පැල්පතට එකතු කිරීමටත්, ගීත රචකයා පිළිබඳ සොයා ගැනීමටත් බෙහෙවින් උපකාර කල නිශා සොයුරියටත්, නිතර ගීතය මුවේ මුමුණන මගේම සහෝදර සුරංගටත් බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුයි...
(ගීතයේ සංගීත අධ්‍යකෂනය කල ශිල්පියා පිළිබඳ තොරතුරු දන්නේ නම් එකතු කරන ලෙස පැල්පතට ගොඩ වදින ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා)




::::ගීතය මෙතනින් බාගන්න::::

"ඔබ හීනයක් වගේ"


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

නිතරම වගේ ඇති වන මගේ පමා වීමට, සමාවක් ඉල්ලමින් ඔන්න ටික දිනකට පස්සේ පැල්පතට ගොඩ වැදුනා...අළුත් ලිපිය පටන් ගැනීමට පෙරම අහන් ඉන්න ගීතයට ලැබුනු ප්‍රතිචාර වලට හා තොරතුරු වලට ස්තූති වන්ත වන බව මුලින්ම කියන්න ඕනෙ. අළුත් දෙයක් පැල්පතට එකතු කිරීමට පමා වීමට එක් පුංචි හේතුවක් වුනේ මේ ගීතය. ඒ මෙම ගීතය නොඇසූ අයට අවස්ථාවක් දීමට යැයි කිව්වොත් නිවැරදියි.
එසේ නම් උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ පද රචනයට රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් රසවත් වුන, පුරා වසර කිහිපයක සිටම තවමත් අප හදවත් තුල රැව් පිලි රැව් දෙන තවත් එක් අලංකාර ගීතයක් මෙසේ පැල්පතට එක් කරන්න මා සිතුවා..."ඔබ හීනයක් වගේ" විශාරද දීපිකා ප්‍රියදර්ශනි විසින් රසවත් ලෙස ගායනා කරන මෙම ගීතය සෙනේශ් දිසානායකයන්ගේ ආදරනීය වස්සානය චිත්‍රපටයේ ගීතයක් වෙනවා. පෙර ගීත මෙන්ම මෙය නොඇසූ රස නොවිදිය කෙනෙක් නොමැති තරම්. නමුත් තවමත් ඔබේ ගීත එකතුවට මෙම ගීතය එකතු කර ගැනීමට නොහැකි වූවානම් පැල්පතෙන් ඒ සඳහා අවස්ථාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා...



::::‍ගීතය මෙතනින් බාගන්න::::

"අහන් ඉන්න - අහගෙන ඉන්න"


අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//


සුභ දවසක් අදත් පැල්පතට එක වුන හැමොටම. ඉතින් ඔන්න අද අරගෙන ආපු ‍ගීතය නම් එතරම්ම ජනප්‍රිය වුන ගීතයක් නොවෙයි. ‍නමුත් ගීතය මෙතෙක් මා දන්නා තරමින් ඇසූ සියළු දෙනා පැවසුවේ ගීතයේ ඇති රසය සහ එහි අරුත කියා නිමකල නොහැකි බවයි. නමුත් අවාසනාවකට වගේ මේ ගීතයේ ගායනය, තනු නිර්මාණය හා සංගීතය නිර්මාණය කලේ කවුද යන්න මෙතෙක් සොයාගන්නට නම් නොහැකි වුනා. නමුත් මේ ගීතය ගැන තොරතුරු මා දන්නා කිහිප දෙනෙකුගෙන් සපයා ගන්නට හැකිවුනා. ඉතින් ගීතයේ අර්ථය පැහැදිලි කරනවාට වඩා එය නිර්මාණය කරන ලද්දේ කුමක් සදහාද යන්න සොයා බැලීම ඊට වඩා වැදගත් බව පැහැදිලි වුනා.
එසේනම් මුලින්ම කියන්නම් ගීතය මගේ සවනතට වැටුනු ආකාරය. ඉතින් ගීතය මා හට ලබා දුන් පුද්ගලයා ගැන පැල්පතට අමුතුවෙන් හදුන්වාදිය යුතුව නැතැයි මම විශ්වාස කරනවා එනම් ඔහු තමයි පැල්පතේ මගේ ස‍හෝදර අමිLaයා. ඔහු විසින් දැනට මාස කිහිපයකට පෙර ලබාදුන් මේ ගීතය තවමත් මා රසවිදින්නේ ඉතාම කැමැත්තෙන්. ගීතය ලබාදීමේදී ඔහු විසින් ලබාදුන් තොරතුරු කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්. එනම් මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ සංගීත ක්‍රම දෙකකිනුයි. එක් ක්‍රමයක් එනම් මෙහි ladys Version එක ඉදිරිපත් කර ඇත්තේ clasical ක්‍රමයටයි. නමුත් මෙහි අනෙක් ගීතය Rock Music Style එකෙන් ඉදිරිපත් කරල තියෙනවා. ගීතය ගැන තවත් වැදගත්ම තොරතුරු ඔහු විසින්ම අපට හදුන්වා දුන්නා. එනම් මෙම ගීතය ගායනා කරන ගායිකාව අන්ධ බව පැවසෙනවා. ඒ බව ගීතය තුල ප්‍රේකෂකයාට ඒත්තු ගැන්වීමට ගීතය ගායනා කරන අතර එහි අන්තරා කොටස අවසා‍නයේ "මෙතෙක් ගීතය ඇසුවේ ඔබේ විදියටයි, දැන් මගේ විදියට ගීතය රසවිදින්න" යනුවෙන් ගායිකාව ආරාධනා කරනවා. මෙම අවස්ථාවේ මෙතෙක් අප ගීතය රසවිදි ආකරය සපුරාම වෙනස්ව අනුකම්පාව මුසු අමුතුම හැගීමක් සිතට ඇතිවෙනවා. ‍ඒ බව ඉතාම හොදින් රසවිදි තවත් විශේෂ පුද්ගලයෙක්ගෙන් මා හට තොරතුරු ලැබුනා ඔහු නම් බ්ලොග් කලාවේ අප කවුරුත් හදුනන "ආගන්තුකයා" විසිනුයි, ඔහු මෙම ගීතය මුලින්ම රසවිද ඇත්තේ එක් අවස්ථාවක ඔහු සහභාගී වූ සජීවී වැඩසටහනක් තුල එහි විවේක කාලයේදී ඉදිරිපත් කල ගීතයක් ව‍ශයෙනුයි. එහිදීත් මා පෙර පැවසූ ආකාරයට ගීතයේ අන්තරා කොටසේ දී වේදිකාව ඇතුලුව මුළු ශාලාවේම විදුලි පහන් නිවා ගායිකාව විසින් ඇගේ ආකාරයට ගීතය රසවිදින්න ආරාධනා කල බවක් පැවසුවා. එම අවස්ථාවේ ප්‍රේක්ෂකයන් සියල්ලන්ටම ඇය අන්ධ ගායිකාවක් බව හැගවීමට එම ඉදිරිපත් කිරීම සිදුකර ඇති බව පැවසුනා.
එමෙන්ම ගීතයේ Rock Version එක ගැන කතා කරනවා නම් ගීතය ගායකයින් දෙදෙනෙකු විසින් ගායනා කරනු ලබනවා. එයින් එක් ගායකයෙකු නම් මා බෙහෙවින් ප්‍රිය කරන රොක් ගාය‍‍කයෙකු වන chapz ‍නොහොත් ඉන්ද්‍රචාප ලියනගේයි. නමුත් අනෙක් ගායකයා හෝ සංගීතය නිර්මාණය කලේ කවුද යන්න නිවැරදිව මා හට සොයාගැනීමට නොහැකි වුනා. ඉතින් වෙනත් ගීත මෙන් එහි අන්තර්ගත‍ව ඇති අරුත විචාරය කරනවාට වඩා මෙම ගීතයේ නිර්මාණය සදහා දායක වූ විශිෂ්ඨයන්‍ සොයා ගැනීම වැදගත් බව මට හැගීගියා. ඉතින් ඒ සදහා ගීතය ගැන යම් තොරතු‍රක් ඇතොත් ඉදිරිපත් කරන ලෙසට පැල්පතට එන ඔබෙන් මා ඉල්ලා සිටිනවා . ඒ ‍වගේම ඉහත සදහන් කල තොරතුරු නිල තොරතුරු නොවන අතර එයින් ගායකයින්ට හෝ ගීතයට යම් හානියක් වේ නම් පැල්පත වෙනුවෙන් මා සමාව අයද සිටිනවා...


නැවත සැකසීමයි:
හොදයි හා පැටික්කී, හා මල්$han ඇතුළු මගේ පැල්පතට ගොඩවැදුණු සහෝදරයින් කිහිපදෙනාගේ අදහස් නිසා ලිපිය නිවැරදි ආකාරයට වෙනස් කරන්නට සිදු වුනා. ඔබ සියළුදෙනා විසින් ලබා දුන් මේ අදහස මට මෙන්ම ගීතය පිළිබඳ උනන්දුවක් තිබූ සැමට බෙහෙවින් වැදගත්වෙයි කියල මම හිතනවා.
Female version
ගායනය : මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ
Male version
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ සහ ...............
ඇල්බමය : "අභිනිෂ්ක්‍රමණය"

තවත් බෙහෙවින් වැදගත්වේ යැයි සිතෙන නිල නොවන අදහසක් මෙමගින් ඉදිරිපත් කිරීමට කැමතියි. මෙම ගීතයේ Rock version ගීතය ගායනා කරන අනෙත් ගායකයා අබාධිත පුද්ගලයෙකු බවත්, මෙම ගීතය ඉදිරිපත් කර ඇත්තේ අබාධිත පුද්ගලයින් වෙනුවෙන් වූ යම් වැඩසටහනකට බවත් පැවසෙනවා. ඉදිරියේදී නිවැරදි තොරතුරක් ඇතොත් ඉදිරිපත් කිරීමට පැල්පතෙන් මා බලාපොරොත්තු වෙනවා.


::::Classical Version එක මෙතනින් බාගන්න::::
::::Rock Version එක මෙතනින් බාගන්න::::

"සිංහල ෆොන්ට් පැල්පතෙන්"


සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා සුපුරුදු විදියට, ඉතින් අද අරගෙන ආපු ලිපිය නම් ‍මින් පෙර පැල්පතෙන් ඉදිරිපත් කල ලිපියක්මයි. ඉතින් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලිපිය නැවත සංස්කරණය කර ඉදිරිපත් කරන්නට සිතුවේ මෙම ලිපියේ ව‍ටිනාකම පිළිබද පෞද්ගලිකව මා හට ලිපි එවූ අය නිසාමයි. ඉතින් ලිපිය ගැන පැවසීමට ගොඩක් කාරණා නැ. පරිගණකය අශ්‍රිත වැඩකරන අපට නැතිවම බැරි දෙයක් වන්නේ මේ සිංහල අකෂරයි. ඉතින් සිංහල අකෂර එකවර බාගත කර හැකි වෙබ් අඩවියක් මෙතෙක් මා නම් දන්නේ නැති තරම්. ඉතින් මේ නිසාම සිංහල අකෂර 100කට අදික ප්‍රමාණයක් පැල්පතට ඉදිරිපත් කිරීමට මා සිතා ගත්තේ. ඉතින් මෙහි ප්‍රයෝජනවත් බව මෙය අශ්‍රිත ඉන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුව නැතැයි මා විශ්වාස කරනවා. බාගත කරගත් මෙම අකෂර නිවැරදිව පරිගණකය තුල ස්ථාපනය කිරීම සදහා ක්‍රමය මා නොදන්නා අය උදෙසා දල ව්‍ශයෙන් පැහැදිලි කරන්නම් එනම් මුලින්ම start - Control Panel යන්න‍ තොරාගන්න ඉන්පසු එහි ඇති Font යන අයිකනය තොරා ඔබ බාගත කරගත් ෆොන්ට් සියල්ල Copy කර ඉහත කී Font අයිකනය තුලට Paste කරගන්න.
ඉතින් ලිපිය බාගත කර ගැනීමට ආරාධනා කරන ගමන් අදහසක් එකතුකර යන්න කියලත් මතක් කර සිටිනවා...


::::මෙතනින් බාගන්න::::

"සිහින හතක්"


සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...//

ඔබ මගෙ පැල්පතට පැමිණ
අයාචනයක් කරමින්...//
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා...

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත...//
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි...

එදා ම‍ගේ හද අරගත්
ඔබ අද වැඩි පොහොසත්...//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ...//

සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා පැල්පතට ගොඩවැදිල ඉන්න හැමෝටම. ඉතින් සමාවෙන්න ‍ඕනෙ දින කීපයකින්ම මේ පැත්තට ඒමට නොහැකි වූවාට. ඉතින් දින කිහිපයකට පස්සේ අද අරගෙන ආපු ගීතය ගැන කියන්න කලින්, ගීතය මට ඇහුනු විදිය ගැන පොඩි කතාවක් කියන්න ඕනෙ. කථාව ඇර‍ඹෙ‍න්නෙ මෙවර පොසොන් නිවාඩුවේදී මා සහභාගී වුනු අම්පාර වන්දනා චාරිකාවේදීයි. ඉතින් සුපුරුදු විදියට අප සහභාගී වූ මේ ගමනේ විනෝදය වැඩිකරගන්න හිතාගෙන මමත් ඇතුලු අපේ නඩයේ සිටි තවත් තරුණ අය කිහිප දෙනෙක් සමගින් ගීත ගායනා කරමින් සිටියා. ඉතින් බහුතරයක් නව පරපුරේ ගීත වුවත් පැරණි ගීතත් දන්නා තරමින්‍ හෝ ගායනා කලේ වැඩිහිටි කිහිප දෙනෙකුත් ගායනයට හවුල් වේවි කියා සිතුනු නිසාමයි. ඉතින් මේ අතරේ අප ගායනා කල ගීත වල යම් මන්දගාමී අවස්ථාවක් පැමිණි වෙලාවක ගීතය ගායනයට මෙතෙක් අවතීර්ණ නොවුනු මගේ පියාත් ගීතයක් ගායනා කිරීමට සූදානම් වූ බවක් පෙනුනා. බො‍හෝම කලාතුරකින් එන මෙවැනි අවස්ථාවක, අනෙත් අයගේත් අවධානය ඔහුවෙත යොමුකරමින් මා අප්පච්චීගේ ගීතයට සහාය පලකලා. වෙනදා ගායනා කරන, අප්පච්චී ප්‍රිය කරන ගීත කිහිපයක් ඇතිනිසා එවන් ගීතයක් බලාපොරොත්තු වුවත්, මා විසින් නොඇසූ අලුත් ගීතයක් කොහෙත්ම බලාපොරොත්තු වූයේ නැ. කෙසේ වුවත් එම අවස්ථාවේ මෙම ගීතය කෙතරම් උචිත වූවාද කිවතොත්, තරුණ පරපුරේ අපි කිහිප දෙනෙක් හැරෙන්නට වාහනය තුල සිටි සියලු දෙනාම ගීතය මුමුණනු මට පෙනුනා. ඉතින් ඒ විදියට සවනට වැටුනු ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෙතරම් රමණීය ගීතයක් මෙතෙක් ඇසීමට නොහැකී වීම පිළිබඳ එම අවස්ථාවේ මා තුල මහත් කණගාටුවක් ඇති වුනා.
ඉතින් මේ සිදුවීමෙන් පසුව තමයි ගීතය පැල්පතට ගෙන ආ යුතුයි කියා මා සිතුවේ. ඉන්පසු ගීතය කිහිපවරක් රස විද තමයි අද ගීතය මෙලෙසින් ඉදිරිපත් කරන්නෙ. ගීතය ගායනා කරනු ලබන්නේ වික්‍ටර් රත්නායක ශූරීන් විසිනුයි. ගීතයේ අරුත පිළිබද පැවසීමේදී ගීත රචකයාගේ අදහස වී ඇත්තේ ආදරයක් බලාපොරොත්තුවෙන් සිටින, ඒ පිළිබද සිහින දකින කෙනෙකුට ඔහුගෙන් සරණක් බලාපොරොත්තුවෙන් පැමීණෙන පෙම්වතියක් ගැන වග මුල් පද කිහිපය තුලම ‍පැහැදිලි වෙනවා. ඒ අවස්ථාව මානා ලෙස ගැලපීමට ඔහු අසලට අයාචනයක් කරමින් පැමිණෙන යාචකාවියක් පිළිබද ගීතය තුලින් ඉදිරිපත් කරනවා. එසේ අයාචනා කරමින් පැමිණෙන යාචකාවියට සරණ වීමට වෙන කිසිවක් නැති මොහොතක ඔහු තුල තිබූ නොයිදුල් පිරිසිදු හදවත එනම් ඔහුගේ ආදරය පිරිනැමූ බව ගීතයේ අන්තරා කොටසින් ඉදිරිපත් කරනවා. නමුත් ගීතයේ අවසානයට පිවිසෙත්ම අද වර්තමානය වන විට එදා හදවත අරගත් යාචකාවිය අද ඔහුටත් වඩා පොහොසත් වී ඇති බවත්, මේ මොහොතේ එදා ඇයට පිහිට වූවාක් මෙන් ඔහුට ද පිහිට වන ලෙස ඇයට ආරාධනා කරයි.
ඉතින් වෙනදාට වඩා ලිපිය ටිකක් දිග වුනාට සමාවෙන්න ඕනෙ. ඉතින් සුපුරුදු පරිදි ගීතය රසවිද, වෙනත් අදහස් ඇතිනම් ඉදිරිපත් කරන ලෙසත් සියලු‍ දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලාසිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

"මතකේ හස‍රැල්"


කියන්නට බැරි තරම් ‍- ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් - සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් - ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් - සිප ගන්නකෝ මා දෙතොල්...

මතකේ හස‍රැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන දිනේ
ඔබ මා හැරදා ඇයිද ගියේ...

ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි...

ඔබ හා මා හමුවේනම්
ජීවිතය ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්

මතකේ හස‍රැල්...//


සුභම සුභ දවසක් අදත් පැල්පතට ගොඩවැදුනු හැමෝටම...ඉතින් දින කීපයකට පස්සේ අදත් අලුත් ලිපියක් අරගෙන තමයි පැල්පතට ආවේ.ගොඩක් අය චෝදනා කරල තිබුන පරණ ගීත පමණක් ද පැල්පතෙන් ඉදිරිපත් කරන්නෙ කියල, නමුත් පැල්පත කියන්නෙ ගීත පමණක් ඉදිරිපත් කරන ‍බ්ලොග් අඩවියක්ම නෙමෙයි. පැල්පතට ලැබෙන ලිපි හා ගීත බොහොමයක් අද දවස වෙනකොට අපිට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් වලින් සැදුම් ලත් ලිපි වෙනවා. ඉතින් කිසිම විටක එකම පරාසයකට පමණක් සීමා වෙලා ඇති ලිපි කියල කියන්න අමාරුයි. ඉතින් ඒ අදහස තවත් ‍‍වර්ධනය වෙන්න අද එකතු කරන ගීතය ඉවහල් වෙයි කියල මම හිතනවා. ගීතය තමයි "මතකේ හසරැල්" ගීතය ගායනා කරනු ලබන්නේ වර්තමාන තාරුණ්‍යයේ ඉතාම ජනප්‍රිය ගායකයෙක්, නර්ථන ශිල්පියෙක් හා සිනමා නළුවෙක් වන දුෂ්‍යන්ත් වීරමන් හා සුපිරි කටහඩකට හිමිකම් කියන උමාරා සිංහවංශ යන දෙපල විසිනුයි. මේ දෙප‍ලගේ විශිෂ්ඨ ගායනය හා ගීතයට මුසුකර ඇති සංගීතය නිසා අද වන විට ගීතය බොහෝසෙයින් ජනප්‍රියව තිබෙනවා.කෙතරම් ගීතය නැවුම් වුවත් නිතරම පැල්පතට ලැබෙන ගීත බොහොමයක මුසු විරහව මේ ගීය තුලත් එසැනින්ම තිබෙන බව නම් මුලින්ම කියන්න ඕනෙ. ගීතය ආරම්භයේ සිටම පෙම්වතාට සිතට දැනෙන දුක ව‍වාගත නොහැකි බව හා පෙම්වතිය මෙතරම් කුරිරු වූයේ මන්ද කියා අසයි. තම ජීවිතයේ සොදුරුම අවදියේ ඉතා දැඩිව ආදරය කල පෙම්වතිය අන්සතු වී ඇති බව හා එම මතකයන් සිතට කෙතරම් වද දෙනවාද යන්න ගීතයේ පදපේලි ගලපා ඇති අයුරින් රස විදින අපට
හැඟීයයි. නමුත් පෙම්වතා නිතර කියූ සේ පෙම්වතිය කුරිරු වී පලා ගියා නොව පෙම්වතියද එය සිදුකලේ සිත‍කින්‍ නොවන බව හා ඒ පිළිබඳ සමාව ගන්නා අයුරු පෙම්වතියගේ ගීපද පේලි තුලින් ඉදිරිපත්කරයි...
"සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි..."
පැල්පතට එකතු වූ ප්‍රථම යුග ගීතය, හා ප්‍රථම නව පරපුරේ ගීතය මෙය වන නිසා ගීතය පිළිබඳ අදහස් විශාල ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කරනවා. සුපුරුදු පරිදි අඩුපාඩු ඇත්නම් හා ගීතය පිළිබඳ තවත් අදහස් ඇතිනම් ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

::ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න::

"කවුරුවත් නැහැ කවුරුවත් නැහැ"



කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//


දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//

පොඩ්ඩක් විවේක තිබුනු වෙලාවක ‍ඔන්න ආවා පැල්පතට අලුත් ගීතයක් අරගෙන, පැල්පතට අලුත් වුනත් ගීතය නම් ටිකක් පරණයි. ගීත‍යේ සුවිශේෂී බව වෙනත් ගීත වල මෙන්ම අර්ථය හා සංගීතය තුල මනාව ගැබ් වෙලා තියෙනවා. මෙතෙක් අපි කතා කරපු ගීත වල බහුතරයක් ආදරය හා විරහව වැනි මාතෘකා ඔස්සේ තිබුනත් මේ ගීය ගායනා කරනු ලබන්නේ තම ජීවනෝපාය ලෙස පාරුවක් මගින් මිනිසුන් ගඟින් එතෙර කරන තොටියෙකුගේ දුක් ගැනවිල්ලක් පිළිබඳවයි. නමුත් මේ ගීතයේ අර්ථය පිළිබද තොටියාගේ දෙසින් බැලූ කල නිවැරදි වුවත් සිදු වී ඇත්තේ මෙතෙක් ගඟ හරහා පාරුවෙන් ගමන් කල මිනිසුන් හට ගඟින් එතෙර වීමට පාලමක් ගමට ලැබී ඇති බවයි. ගමට පාලමක් ලැබෙන විට සෑම‍ දෙනාම ඒ පිළිබඳ සතුටු වුවත් දුප්පත් ‍මේ තොටියාට නම් එය වාවාගත නොහැකි දුකක් වී ඇත. එයට හේතුව ලෙස ගීතය තුල දිනෙන් දින පාලම ඉදි වූ ආකාරයත්, අදවන විට කිසිදු කෙනෙකු තමාගේ පාරුවෙන් ගමන් කිරීමට නොයෙන බවත් සඳහන් කරන අතර ඔහු අතීතයේ පාරුවෙන් මිනිසුන් ගෙන ගිය ආකාරය සහ ඒ ගෙනයාමේදී ඇතිවන
අපහසුව පිළිබදවත් දැක්වීමට මනා පද පේලිකීපයකින් ගීතය අලංකාර කර ඇත. එනම්,
"දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා"
නමුත් ඒ කාලය වන විට ගමට අත්‍යවශය ව තිබූ මේ මිනිසා පිළිබඳ අද වන විට කිසිදු තැකීමක් නොකරන බව දැක්වීමට අවසාන පද කීපයෙන් මෙසේ සදහන් කරනවා
"මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ"
සමාජයේ දියණු වීම බහුතරයකට නිවැ‍රදි වුවත් ඒ දියණුව පිළිබඳ සාදාරනව දුක්වන යම් පිරිසක් ගැන ගායනා කරන එකම ගීතය මා දන්නා තරමින් මෙය වේ. ගීතය අමරසිරි පීරිස් මහත්මයගේ "ස්නේහයේ නගරයයි" ගීත ඇල්බමයේ
ඇතුලත් වන ගීතයක් වන අතර අමරසිරි පීරිස් මහත්මයාගේ මා ප්‍රියකරන ගීත අතර තවත් එක් සුවිශේෂී ගීතයක් ලෙසද මෙය සදහන් කිරීමට පුළුවන්. ඉතින් වෙනදා වගේම පැල්පතෙන් ගීත‍ය රසවිදල ඔබට දැනෙනඅදහස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

"හන්තානට පායන සඳ"


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//

සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා පැල්පතට ආපු හැමොටම ඉතින් වැඩ ගොඩාක් වැඩි දවස් ටිකක් තමයි ගෙවිල ගියේ. ඒ හින්දා පැල්පතට ගොඩ වදින එකත් ටිකක් අඩු වුනා. ඉතින් පැල්පතේ අය දැනටමත් දන්නව ඇති මමත් කන්ද උඩරට කෙනෙක් කියල. ඉතින් ගමේ වැඩිය ඉන්නෙ නැති නිසා ඒ පැත්ත මතක් වෙන ගීතයක් ඇහුනොත් ඒක හිතට ගොඩාක් දැනෙනවා. ඉතින් අද අරගෙන ආපු ගීතය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ ඉතාම අලංකාර ගීතයක් වෙනවා. මේ ගීතයේ සංගීත‍ය නිර්මාණය කරල තියෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වාදන කණ්ඩායම මෙහෙය වන්නා වන නාලක අංජන කුමාර මහතා විසිනුයි. ගීතය ගායනය කරන්නේ නම් අපි කව්රුත් හොදින් දන්නා අමරසිරි පීරිස් නම් අතිවිශිෂ්ඨ කලාකරුවා විසින්. ගීතය ඇතුලත් වන්නේ "නිල් කැට වැස්ස" ගීත ඇල්බමයේයි. මේ ගීත ඇල්බමය කිසිදු වෙළඳ ආයතනයක විකිණීමට නැති බවයි මගේ මතය. ගීත ඇල්බමයේ නිශ්පාදන කටයුතු සිදුකලේ මා දන්නා තරමින් දිවයිනේ විශිෂ්ඨ භෞතික විද්‍යාදේශකයෙකු වන මාගේ උසස් පෙල ගුරු කීර්ති ධර්මසිරි මහතායි. එතුමා නිසා ගීත‍ය දැනට වසර කීපයකට පෙර ඉතා රසවත් ලෙස මා හට ඇසීමට හැකීවූ බව කියන්නේ මහත් ආඩම්බරයෙන්...

ඉතින් ගීතය ගැන පැවසීමේදී ආරම්බයේදීම හන්තාන කදු පන්තියට පායන සඳ ගැනත් පසුව මහවැලි නදිය ගැනත් මතක් කර දීමේදී ගීතය විශ්ව විද්‍යාලයට සම්බන්ධ බව රසවිදින අපට හැගීයයි. විශ්ව විද්‍යාලය තුල ඇතිවන ආදරනීය හමුවීම්, හදවතට දැනෙන වෙන්වීම් ගැන කියැවූ ගීත අප කොතෙකුත් අසා ඇතත් මේ ගීතය ඒ අතරින් සුවිශේෂයි කියල කියන්න පුළුවන්. තමා සමග කලක් පෙමින් වෙලී සිටි ප්‍රේමවන්තිය අද තමා තනිකර වෙන අයෙකු වෙත ගොස් ඇතිබවත්, තමන් ආදරය කල අවදියේ ඇතිවූ මිහිරි මතකයන් සිතින් ඉවත් කර නව දිවිය සතුටින් ගෙවන ලෙස පෙම්වතා දුක්බර ලෙස පවසයි. මේ අදහස ගීතයේ ඉදිරිපත් කරන අයුරු කෙතරම් අපූරුද යන්න හැගෙන්නේ ගීතය අවසාන පද කීපය අප දෙසවනට ඇසෙන මොහොතේයි. ගීතය බොහෝ දෙනෙක් අසා ඇතැයි සිතනවා. එහෙත් මෙතෙක් ගීතය ලග නොමැති අයට පැල්පතෙන් ගීතය ලබා ගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම හැමදාම කියනවා වගේ අදහසක් දක්වලා ගීතයේ ඇති අඩුපාඩු පෙන්නලා දෙන්න කියල ආදරයෙන් මතක් කරනවා.


ගීතය පිළිබඳ ඉතා සාර්ථක අදහසක් තීර්ථ යාත්‍රිකයා විසින් පැල්පතට ‍එකතු කර ඇති අතර ඒ අදහසින් පසු මෙතෙක් මා තුල ගීතය ගැන තිබූ අදහසට යම් වෙනසකමක් ඇති වී ඇත. ඉතින් තීර්ථ යාත්‍රිකයා හට ස්තූති කරන අතර මගේ අදහස ද වෙනස් නොකර එලෙසම තබා ඇත. ඔබටත් ඔහුගේ අදහසින් ගීතය රසවිදින ලෙස ආරාධනා කරනවා...



::::ගීතය‍ මෙතනින් බාගන්න::::

"මවකගෙ උණුසුම නොලබා"


මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව ‍මැකේ...

හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හි‍නැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...

මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...

මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//
ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//


සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනාවා පැල්පතේ හැමෝටම දින කීපයක ඉදල දාන්න හිතාගෙන හිටපු ලිපියක් ඔන්න අද තමයි එකතු කරන්න හදන්නේ. ඇත්තටම ගීතය ගැන කියන්න කලින් ‍මෙම ගීතයේ නිර්මාණය වීම ගැන වචනයක් කියන්න ඕනෙ. ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක විසින්, ඒ වගේම ගීතය ගායනා කරන්නෙ කේ.කේ.සේන නම් කලාකරුවා විසින් ගායකයාගේ විශේෂත්වය වන්නේ මේ ඔහු ගායනා කරන එකම ගීතය වීමයි. ගීතය දුටු සැනින් අරුත ගැන යම් වැටහීමක් හිතට ඇති වුවත් ගීතයේ ඇති අලංකාරය හා අර්ථ රසය ගැන නම් කිව යුතුමයි. බිලිදෙකු මෙලොව එලි‍ය දකින මොහොතේ තමන්ගේ මව ‍මිය ගොස් ඇති අවස්ථාවක පියාට දැනෙන දුක සහ තම මව ‍නොදුටු මේ නොදරුවා සැපට නිදන අවස්ථාව ගැන ගීතයෙන් ඉදිරිපත් කරයි. මෙවන් වියෝවිමක් දැනට අප සමාජයේ ඇසීමට නොලැබෙන නමුත් එකල ‍මෙය වාවාගත නොහැකි සමාජයම කම්පා වන සිද්දියක් බව ගීතය ඇසීමේ දී අපට හැඟීයයි. මෙහිදී දරුවා සමග තනි වූ පියා අනාගතයේදී දරුවා අම්මා ගැන විමසීමේ දී හා තම පුතුගේ උපන් දිනය සැමරීමේ දී එ‍හි සතුට බුක්ති විදින අකාරය කෙසේද යන්න සිතමින් පසු තැවෙන අයුරු ගීතය තුලින් මතු වී
පෙනේ.කුඩා කල ගීතය අප උපරිමෙන්ම රස වින්දත් මේ ‍වන විට ගීතය ඇසෙන්නේ නැති තරම්. කෙසේ වුවත් ගීතය අප අතරින් ද වියෝ වීමට ඉඩ නොදී ඉදිරියටත් ගීතය අප හදවත් තුල තබා ගන්නට පැල්පතෙන් පුංචි ආරාධනාවක් කරනවා...


පැරණි, අමතක වී ගිය මේ අගනා ගීතය පැල්පතට එක් කරන්න නිතර මතක් කර දුන් කට්ටා සහෝදරයව ආදරෙන් මතක් කරන අතර ගීතයේ විස්‍තර මෙන්ම ඉපැරණි බව හදුන්වා දුන් තරිඳු සහෝදරයටත් පැල්පතෙන් හදපිරි ස්තූතිය පුද කරනවා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසුවන කට්ටා සහෝදරයාගේ මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර එළබෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන තරිඳු සහෝදරයටත් නිසැක ජයග්‍රහනය පැල්පතෙන් මෙලෙස ප්‍රාර්ථනා කරනවා.



::::ගීතය මෙතනින් බාගන්න::::

දඩුබස්නාමානය(තේමා ගීතය)


ගීතයක අරුතට වඩා යමක් එක්කරන්න අද මම හිතුවා. දැන් ලබා දෙන ලිපිය ගැන කියන්න නම් බොහෝ දේ තිබුණත් මේ ගැන කථා කිරීමට අවශ්‍ය නැ කියලයි මගේ අදහස, මොකද අද වන විට මේ ගීතය හා මේ නාට්‍ය ගැන අසා නැති කෙනෙක් නොමැති තරම්...ඉතින් තවත් රසවත් නොකර කියන්නම් ඒ ජයන්ත චන්ද්‍රසිරි නම් අති විශිෂ්ඨ අධ්‍යකෂකවරයාගේ දඩුබස්නාමානය නම් ටෙලි නාට්‍යයයේ තේමා ගීතයයි. ටෙලි නාටකය පිළිබඳ සදහන් කිරීමේ දී ප්‍රධාන චරිත රගපෑ

ශ්‍රියන්ත මෙන්ඩිස්
බුද්ධදාස විතානාරච්චි
කමල් අද්දරආරච්චි
සේනක විජේසිංහ
විශිෂ්ඨ නළුවන් සේම, දමිතා අබේරත්න වැනි විශීෂ්ඨ නිලියන් ගැන මතක් කල යුතුම වෙනවා...ඉතින් තවත් මේ නාට්‍යයේ ජනප්‍රියත්වය වත් එය දිනූ සම්මාන පිළිබඳවත් මා කථා කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නැ.නමුත් මෙහි තේමා ගීතය ගැන ඔබ නොදන්නවා ඇතැයි සැලකෙන දෙයක් සදහන් කරන්නම් මෙම ගීතයේ සංගීත අධ්‍යකෂනය සිදුකර ඇත්තේ අප රට තුල මෙතෙක් බිහිවූ අති දකෂ සංගීත අධ්‍යකෂක වන පේමසිරි කේමදාස මහතායි. ඒ වගේම මෙහි තනුව ගැන යමක් කියනවනම් මේ නිර්මාණය සඳහා ජයන්ත චන්ද්‍රසිරි මහතා මහනුවර ශ්‍රී දළාදා මාළිගයේ රහසිගතව ගායනා කරන කොල්මුර නම් කවි ආස්‍රයෙන් නිවවූ බව සදහන් වෙනවා. මේ තනු නිර්මාණයෙන් පසු මොහුට මේ කවි ඇසීමට ආරාධනා ලැබුනු බවද සඳහන් වෙනවා...කෙසෙ‍් නමුත් අප නොදන්නා මෙවන් නිර්මාණශීලී යමක් ගැබ්ව නැතිනම් මෙතරම් මෙම නිර්මාණය ජනප්‍රිය වීමට ඉඩ නොතිබෙන්නට ඇත.
ඉතින් සුපුරුදු පරිදි තවත් අදහස් හා මේ පිළිබඳ තවත් තොරතුරු ඇත්නම් පැල්පතට රැගෙන එන්න කියල මම ආරාධනා කරනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

"සැදෑ කළුවර"


සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනිවෙලා

වළාකුලකුත් නොමැති අහසේ
මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත - පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර - ජී‍විතේ බර
මගේ හිස මත පරවෙලා...

සැදෑ කළුවර...//


වෙසක් නිවාඩුවෙන් පස්සේ ඔන්න අද තමයි පැල්පත පැත්තේ ආවේ. විරහව සිතට දැනුනු එයින් තනිකමක් දැනුනු කෙනෙකුට දැනෙන හැඟිමක් ගැන කියවෙන මේ ගීතය ඉතාම අපූරුවට ගායනා කරන්නේ විශාරද නන්දා මාලනී මහත්මිය විසිනුයි. මා විසිනුත් ගීතය නිතරම අසා නැතත් හිතට දැනෙන අමුතු රසයක් ඇති ගීතයක් ලෙස හදුන්වන්න පුළුවන්...නමුත් ඉතාම නිවැරදි තේරුමක් මින් ගන්නට කොතෙකුත් උත්සහ කලත් මා හට එය සාර්ථක කරගන්නට නම් හැකි වුනේ නෑ. නමුත් දැනෙන සරලම ආකරයෙන් මෙය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා, ඒත් මේ ලිපිය කියවන ඔබට අඩුපාඩු සහ වෙනත් අදහස් දැනෙන්න පුළුවන් එය ඉදිරිපත් කර අදහස් බෙදාගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ගීතයේ මුල් පද හ‍තරේදීම හා අන්තරා කොටසට පිවිසෙත්ම ගීතයේ අර්ථය පිළිබඳ පෙර කී විරහව දැනුනත් ඉන් විරහව විදිනවාට වඩා ඔහුට ඇය හෝ ඇයට ඔහු හිමි වී සිටි ආකාරය සහ මෙහි පවසන
"ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි..."
යන පද පේලි හා අවසානය මට නම් තවමත් ප්‍රශ්නාර්ථයක්ම පමණයි....


::::ගීතය මෙතනින් බාගන්න::::

"ඔබ මා හමුවේනම්"


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ...
මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
එකම කතාවක් - යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් - මුවේ පිපේ නම්
එකම සිනාවක් - යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//


"විරහව" තමන්ගේ ආදරය අවසන්ව කෙතරම් කලක් ගතවී තිබුනත් තවමත් සිතින් ඒ විරහව විදින ඒ ගැන පසුතැවෙන පෙම්වතෙක් ගැන පවසන මේ ගීතය මා වඩා ප්‍රියකරන ජගත් වික්‍රමසිංහ මහත්මයාගේ තවත් හදවතට දැනෙන ගීතයක් වෙනවා. ගීතය ගැන අත්දැකිම් මා හට නැතත් අප විසින් අමතක කරන ලද ප්‍රථම ප්‍රේමයක් අපි හැමෝගෙම සිත්තුල තවමත් අනවසරයෙන් රජකරනවා කියලයි මගේ මතය...

කෙසේ නමුත් සිත් පුරා ආදරය කල පෙම්වතිය අද තමා ලග නොමැති බව සත්සුදක් සේ දන්නා පෙම්වතා ඔහුගේ අහිංසක බලාපොරොත්තුව මෙසේ හැඟුම්බරව ඉදිරිපත් කරයි...අමතක කල නොහැකි ඒ අතීතයට නැවත පියමන් කල නොහැකි බවත්, ඇගේ සිනා පිරිනු නෙතු නැවත දැකගත නොහැකි බව දන්නා පෙම්වතා "එකම කතාවක් - එකම සිනාවක්" යලිත් බලාපොරොත්තු වන්නේ ඉතාම දුක්බර ලෙසයි...ආදරය හා විරහව සමව විදි පැල්පතේ සහෝදර සහෝදරියන්ට මේ ගීතය පිළිබඳ සිතට දැනෙන දේ ඉදිරිපත් කරන්න මගෙන් ආරාධනා...!


විදින්න නොව දැනෙන්න හා ඉන් මිදෙන්න, මේ ගීය මගේම සහෝදර "සයිL3න්ටි[කිL3ර්]"ට.........!!!


::::ගීතය මෙතනින් බාගන්න::::