෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

ඔබ නැතුව ඔබ එක්ක (with u without u)

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...


සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි..
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ..


රුවක් ඇදෙනවා...//

 
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

 

රුවක් ඇදෙනවා...//

පැයෙන් පැය, දිනෙන් දින, වසරින් වසර ගෙවී අළුත් වූ තවත් දවසක පරණ සුපුරුදු මිහිරි නිවහනට නැවත ගොඩවැදුම හරියට මට දැනෙන්නේ මහ ගෙදරින් විරසක වී නගරය බලා ගිය කෙනෙකු නැවත ගමේ ගෙදරට ගොඩවදින්නාක් මෙන් හැඟීමක්...
අමුතු මිහිරි වරදකාරී හැඟීමක් හිතට දැනේ. එහෙත් මා දැන් ගෙදර පැමිණ ඇත. මා නිවසට පිළිගන්නේද? මා එළවන්නේ ද? 

යන වග තීරණය කරන්නේ මාගේ නෑදෑයන්ය. එනම් ඒ ඔබයි..
කරන ලද වරදට සමාවක්වත් ඒ පිළිබද මතක් කිරීමට වත් මා සුදුසු නොවේ.. එකල බ්ලොග් අඩවි යනු අපි අපේ හිත්වල අවංක සටහන් ලියා තැබූ, කෑ ගසා කීමට නොහැකි හිත් යට හැඟීම් කියා පෑ ඩිජිටල් පත්ඉරුවකි... නමුත් එයින් නික්ම ගියේ ක්ලික් කරන පමාවට මුදල් සෙවූ, බ්ලොග් සම්මාන පසුපස කෑ ගසා එලවූ කාලයක් එලඹුනු බැවිනි..(නමුත් මේ සියල්ල නිදහසට කාරණා නොවන වග මගේ හිත අවලාද නගයි..)

තකහනියේ ගොඩ වුනේ හිතින් යම් කාලයක දුක් දෝමනස්සයන්, ආදරය, විරහව හෙලිකල තැන මකුළු දැල් කඩා පිළිසකල කල යුතුය යන හැඟීම දැනුනු නිසාමයි. එකල මා නම්, සරල එහෙත් හදවතින්ම ආදරය කල සොඳුරු ආදරවන්තයෙක් විය. නමුත් අද මා, වසර 9ක් මාස 4ක් සහ දින දෙකක් කල ආදරයේ උපරිම ඵලය නෙලාගත් සය මසක “සැමියෙකි..“ ඇය මේ මොහොතෙත් මා තුරුලේය..
කිසිදිනක නොකියූ පෞද්ගලික අදහසක් එක් කලේ අප පැල්පතේ නෑදයින් හට සහ විශේෂයෙන් මගේ සහෝදර “අමිලයා“  හෝ සැබවින් මා හට මුණනොගැසෙන නිසාමයි. නමුත් ඔහුගේ දිවියේ දුක් හෝ සතුටු අවස්ථා අහම්බයෙන් හෝ ඉන් දින කීපයට පෙර මා හට අසන්නට ලැබේ. ඒ විශ්මය මෑතකදීත් මා අත්විදිමි.

ඔව් අද මාගේ ගීය..
අද මාගේ ගීය යම් ජීවන අත්දැකීමකට සමාන කිරීම උදෙසා එම අවස්ථාව විදීමට ඔහු හා එක්වීමට ගත් එක් උත්සහයක් පමණි.. ගීතය විශාරද ගුණදාස කපුගේ ශූරීන් හා කරුණාරත්න දිවුල්ගනේ ශූරීන් විසින් එක්ව ගායනා කරන “රුවක් ඇදෙනවා“ ගීතය.. මේ සිංහල ගී ඉතිහාසයේ මුල්ම පිරිමි යුග ගී අතරට එකතුවන ගීතයක් බව අප කවුරුත් දනී...අතිශය පිරිමි කටහඬක් හිමි පිරිමින් බෙහෙවින් ඇළුම් කරන විශාරද කපුගේ ශූරීන්ද මනා හික්මීමකින් විරහ වේදනාව ගැන හදරැදි ගී රැසක් මුමුණන දිවුල්ගනේ ශූරීන් ද ගීය අලංකාර කර අයුරු ඉස්තරම්ය..

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ...


මා පෞද්ගලිකව ගී වලට ඇළුම් කිරීමට පෙළඹුනේ සමහර ගී වල ඇති රූපක ස්වරූපය නිසාමයි.. ඉතින් මාගේ කතා නායකයා සහ මා සමඟ ඇතිවන දෙබසක් උපමා කිරීමට කදිම ගී පද මාලාවක් මෙම ගීය තුල ගැබ්ව ඇත..
ගීය වචනයෙන් වචනය විස්තර කීරීමට මා උත්සුක වන්නේ නැත..
ජීවිතයේ උඹට, මට අප හැමෝටම මඟහැරුනු තැන්, වැරදි අඩුපාඩු, අත්වැරදීම් විශාල ප්‍රමාණයක් ඇත ඒවා මතක් වන විටත් ඉතා වේදනාකාරී වේ..
නමුත් කාලයක් ගතවන විට, අත්වැරදීම් වල එකතුව “අත්දැකීම්“ ලෙස හදුන්වන අතර අත්දැකීම් අප ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යනවා නොඅනුමානය..

මඟහැරුනු ජීවිතයේ උඹට, මට සරලව එරන්දි ඉරේකා තිරාණගම විසින් ලියූ කවිපේලි කිහිපයක් මෙසේ අමුණන්න කැමතියි..

සීත කාමරේ කැරකෙනා පුටුව මත
ඔයා රජවුණු දවසෙ
මං ඇඬුවෙ සතුටට
උජාරුවකුත් නොතිබුනාම නොවෙයි
කදුළු අතර අතරින් පතර.....

කවිකමට බැඳිලා බහදුන්නේ මං එදා
ජීවිතේ කවියක්ම වේවිනේ කියලා
පස්සෙ දවසක හිතුනොතින් තනුවක් හදලා
ගීතෙකුත් කරනවා කියලා.........

රජවෙන්න ඔයා තතනන දවස්වල
කොන්ක්‍රිට් වදුලු මත කලබලෙන් ඇවිදිද්දි
වැටුණා නේද බිමට නුඹේ කවි සිත
පස්සෙ ඇහිදිනවා යැයි නුඹ කියූ කවි සිත

ආපහු හැරෙන්න බැරි තරමට
ඔයාට වැඩ හින්දා
මං හැරෙන්නම් රත්තරං
දෝතින් ඇහිඳන් එන්න
මග හැරුණු මග හැලුනු ජීවිතය..

දස දහස් මිනිසුන්ගේ
දෙපා යට පෑගෙමින්
මියැදෙමින් තිබෙන ඔබේ
කවිකාර හිත් මැනික
අහුලන්න මං මාන බලනවා.....
මිනිස් හෙවනැලි මාව වහනවා......


මෙවන් කවියකට සමානව “සංගීතකරු මැරිල“ නමින් පද පේලි කිහිපයක් ඇමිණුවෙත් මේ නිසාම බැව් මා දනී..නමුත් එම දිවිය ගෙවූ කාලය ඒ නිදහස් ආදරණීය කලාකරු අප යටි හිතේ තවමත් සිටී..එකම දේ ඔහුට අවදිවීමට අප ඉඩ නොදීමයි..
උඹ ගැන කතාකිරීමට මේ පොඩි ලිපිය ප්‍රමාණවත් නොවන බව මා හොදින් දනී..නමුත් උඹට උපදෙස් දීමට තරම් විරහව පිළිබඳ මට අදහසක් නැත, නමුත් ගෙවුනු වසර කිහිපයේ මගේ මිතුරන්ගේ අත්දැකීම් නිසාම යම් අදහසක් හෙවත් ඉන් රසිකත්වයක් මට ඇතැයි සිතමි..ඉතින් නිදහස් වෙලාවක මෙය දුටු විටක කවියකින්, පද හතරකින්වත් අවම පිළිතුරක් ලැබේ යයි සිතමි..
“ජීවිතයේ අහිමි වූ සියල්ල වෙනුවෙන් යමක් ඔබට ලැබී ඇත...
ජීවිතයේ හිමිවූ සියල්ල වෙනුවෙන් යමක් ඔබට අහිමිවී ඇත...
වැදගත් වන්නේ ඔබ ජීවිතය දකින ආකාරයයි..
එක්කෝ ඔබට සතුටුවිය හැක..
නැතහොත් ඔබට දුක්විය හැක..“


 

~අමිLaයා~ ගෙන් සටහනක්...!

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.." එහෙමත් නැත්නම් අපේ පැල්පතට ගොඩ උනේ ගොඩක් කලෙකින්. මකුලු දැල් බැඳිල...! දැක්කාම දුකේ බෑ. මට පේන්නෙ මගේ සගය ~RaසිකyA~ ත් ළඟකදි පැල්පතට ගොඩ වෙලා නෑ වගේ. වැඩ රාජකාරි වැඩි වෙලා නිදහස අඩු වෙලා අපි දෙන්නගෙම. ඒ උනත් යන එන ගමන් පැල්පතට ගොඩ වෙලා යන අපේ නෑදෑයො පිරිසක් තාමත් ඉන්නව. ඒ හැමෝටම ගොඩක් ස්තූතී කරනව වගේම සමාව ඉල්ලනව ඔයාලගෙ රසවින්දනයට ගොඩ කලෙකින් අලුතින් දෙයක් එක් කරන්න බැරි වීම සම්භන්ධයෙන්.

තවත් දෙයක් තියනව කියන්න, "අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.." එහෙමත් නැත්නම් අපේ පැල්පත අරම්භ කරල වසර 5ක් ගත වෙලා. මේ වෙනකම් අපිත් එක්ක රැඳිල පැල්පත සහයෝගය දුන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියට ඊටත් වඩා වැඩි සහයෝගයක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.

මෙතෙක් කල් අපිත් සමග රැඳිල හිටපු සහ අලුතින් අපිත් එක්ක එකතු වෙන ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියනව කරන්න. පැල්පතට ගැන පුංචි අදහසක් පල කරල යන්න අමතක කරන්න එපා...!
ස්තූතියි...!

අවාරය...!

සංගීතකරු මැරිල...!

වැයූ තත් හය නිහඬ වී...
හිඳී මුල්ලක කිලුටු වී...
තත් වැයූ අත් පලුදු වී...
යතුරු පුවරුව මතට වී...


ලියූ කවි පද නිහඬ වී...
සිනාසෙයි මට උඬගු වී...
කවි ලියූ කොළ රුදුරු වී...
ඉල්ලයි මගෙන් උත්තර හරී...


නොදුන්නොත් උත්තර හරී...
කෙළ වෙනව මේ පාරත් money...
අරන් degreeය බී Sc...
අපි කරමු music මගෙ honey...


ලිව්වේ - අමිLaයා