෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

රුවල් ඉරීගිය නෞකාවේ..


රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ...

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

රුවල් ඉරී ගිය...//


දින ගණනකින් හදවතේ රැන්දූ ගීයක් පැල්පතට ගොඩවී විදගැනීමට අවස්ථාවක් සැලසීමට නොහැකිවීම පිළිබඳ සමාව ඉල්ලා සිටිනවා. වැඩ අධික බව නිසාමත් තවත් කුමන හෝ හේතුවක් හෝ නිසාත් බ්ලොග් අඩවි ගැන පෙර තිබුනු රසසාස්වාදය ගිලිහී ඇති බවක් හැගෙනවා. නමුත් මුල් අවධියට වඩා බ්ලොග් අඩවිවල නම් අඩුවක් වී නැත. එතරම් අඩවි තිබුනත් පෙරසේ හිත් ඇද බැදගැනීමට නොහැක්කේ මන්ද.?ඔහුන් මේ බ්ලොග් හරහා සොයන්නේ මොනවාද...?බ්ලොග් අඩවි සම්මානයක්, නැතහොත් ජනප්‍රිය බ්ලොග් අඩවියක අයිති කරුවෙකු වීම එසේත් නැතහොත් ක්ලික් කරන පමාවට ඩොලර් උපයාගැනීමක්ද...?
හිතට දැනුනු කෙටි ප්‍රශ්නයක් සමගින් ආරම්භ වීමට සිදුවීම ගීය ගැන සිතීමට එය බාධාවක් සේ හැගේ නම් මදකට ‍එයට තිත තබන්න. ගීය විශාරද නන්දා මාලිනියන්ගේ "රුවල් ඉරීගිය ‍නෞකාවයි" මේ ගැන කතාකිරීමට මා හේතු කරගත්තේ මා අතිශය ප්‍රියකරන කටහඩක් හිමි නන්දා මාලිනියන්ගේ ගීයක් නිසාම නොවේ. ඇගේ අනෙකුත් ගී මෙන් නොව මේ ගීය පිළිබඳ සිතත්දී මුලින් හැගෙන බිදී ගිය ආදරයක් හෝ අඹුසැමි යුවලක් අතර වෙන්වීමක් සනිටහන් වන දෙයක්ද යන්න දෙගිඩියාවක් පැවතිනි.
නමුත් ගීතයේ රචකයා වූ නන්දා මාලිනියන්ට වැඩිපුර ගී ලියා දුන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පිළිබඳ හා ගීය බිහිවූ යුගය ගැන සලකා බැලීමේදී ගීයේ විචාරය මෙසේද ඉදිරිපත්කල හැක.,මුල්පද පෙලේ කියැවෙන රුවල් ඉරීගිය නෞකාව‍ ලෙස එකල රට තුල පැවති විප්ලවකාරී කණ්ඩායම් පිළිබද කියැවෙන බවක් හැගේ. එමෙන්ම මේ ගීයේ රැදුනු සගයන් පිරිසක් තම නියමුවා එසේත් නැතිනම් තම නායකතුමාට පවසන දෙයක් සේ හැගී යයි. එ‍හිදී ගීය රසවිදින ප්‍රේකෂකයින් හට එම විප්ලවකාරී සමාජය තුල තම නායකයා කෙරෙහි හා නායකතුමා ඔහුන් කෙරේ ඇතිකර තිබූ දැඩි බැදීම පිළිබද ඉතා පැහැදිලිව පවසයි. එනම් ඔහුන් තම ජීවිතය පවා ඒ වෙනුවෙන් යොමුකරනු ඇතැයි හැගේ...

දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම

මෙසේ අන්තරා කොටස ගායනා කරන විට ‍අපට හැගෙන්නේ, මෙතෙක් කාලයක් තම කණ්ඩායම මැඩලීමට උත්සහ දරණ විට තම කණ්ඩා‍යමේ ප්‍රභලයන් ඔහුන්ට හසුවී විනාශ වී යන මොහොතක තවමත් අප සමග රැදී වුන් ඔබ, එනම් අපේ නියමුවානනි, දැන් ඔබට පිටව යන්නට අවස්ථාව එළඹ ඇත. අප ගැන නොසිතන්න..

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි‍
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

නැවතත් ගීයේ අවසානයට එළබෙන විට මෙතෙක් ගීයෙන් අර්ථවත් වූයේ මෙය පවසන්නේ කණ්ඩා‍යමේ සාමාජිකයෙක් ලෙස හැගුනත්, දැන් මෙම අවස්ථාවේ පවසන "හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස "ලෙස මා නමින් අර්ථවත් කරනුයේ මේ විප්ලවවාදී කණ්ඩායම දැයි මට හැගේ.
කෙසේ වෙතත් අතිවිශිෂ්ඨ ගීයක අර්ථරසය පිළිබඳ කෙටි අදහසක් මට හැගෙන පරිදි ලබාදීමට හැකිවුනා යැයි මට හැගේ., ඉතින් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා පැල්පතේ මාගේ සහෘද්යින්ගෙන් මාහට මෙන්ම ඔබටත් හැගීයන යම් අදහසක් ගීය පිළිබද ඇත්නම් ඉදිරිපත් කරන ලෙස...


:::ගීතය මෙතැනින් බාගන්න:::

ගැබ්බර වූ සිහිනය...!


ගැබ්බර වූ සිහිනයේ...
විළි රුදාව...
දරාගෙන...
කල්පයක්,
ආ ගමන...
අදින් අවසන් වුවත්...

පවුරු බැමි බිඳ හෙලා...
දරු උපත විඳ දරා...
දෝතින්ම නුඹ හොවා,
ගන්නට...
ආසයි මට....!

"මේ නගරය..."


මේ නගරය මා ඔබ
මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුනු නගරයයි...//

වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

මේ නගරය...//

ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...

මේ නගරය...//



විශාල වැඩ අධික කාලයකට පසු පැල්පතට ගීයක් ගෙන ඒමට ප්‍රධාන හේතු කිහිපයක්ම යෙදුනා. ඉතින් ඒ හේතූන් සියල්ලන්නටම සරිලන, මෑතකදී අප අතරින් වියෝවූ අසාහය ගායන ශිල්පී මර්වින් පෙරේ‍රා මහතානන්ගේ ගීතයක් මෙසේ ඉදිරිපත් කිරීමට මා තීරණය කලා.
ගීයේ ආරම්භයෙන්ම මුණ ගැසීමක් හා ඉතා දුක්බර සමුගැනීමක් පිළිබඳ ඔහුන් හමුවූ නගරයක් සම්බන්ධ කරමින් අලංකාරව ඉදිරිපත් කරනවා. එමගින් මා හා ඔබ යනුවෙන් ආදරවන්තයින් දෙදෙනෙකුගේ හමුවීමක් හා වෙන්වීමක් ලෙස ශ්‍රාවක අප‍ට හැගෙන සේ පද රචනයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් පෙර මා විසින් සදහන් කරන ලද හේතූන් එකකට මෙම පද පේලී දෙක ගැලපෙන ආකාරය ගැන ඉදිරිපත් කිරීමටයි මේ සූදානම...
"වසරක පමණ කාලයක සිට අපට පිටස්තර වූ නගරයක, අප විසින් ඉගැන්වූ අපෙන් ඉගෙනුම ලත් දරුවන් පිරිසක් අද දවස වන විට ඔහුන්ගේ පාඨමාලා කාලය සාර්ථකව අවසන් කර විසිර යනවා. එය ඇඳුරුතුමෙකු ලෙස හදවතින්ම සංතෝෂ විය හැකි අවස්ථාවක් වුවත් ඔහුන් සමග ‍සහෝදරත්වයෙන් මිතුරුදමින් මෙන්ම ගුරුවරුන් ලෙස රැදී සිටි අපට ශෝකය මුසු සතුටු කදුලු වැගිරෙන මොහොතක් වූ බව කිවයුතුමයි. නමුත් ඒ හමුවීම ඔහුන්ගේ ජීවිතය සාර්ථකව වෙනස් වීමකට ලක් වූ බව ඔහුන් අවංකව පවසන්නේ නම් හා ඒ බව ඔහුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර අපට පෙන්ව‍න්නේ නම්, එය ඔහුන්ගෙන් ගුරු-ඇඳුරන් වූ අපට ලැබෙන තුටු පඬුරක් වනු නොඅනුමානයි..
මෙම මුණගැසීමත් සමුගැනීමත් හදවතට දැනුනු අවස්ථාවක් වූ බැවින්, පෙර කී සතුට මුසු ශෝකය හා හදවතින් අප පතනා වූ ඔහුන්ගේ අනාගතයට කරන සුභ පැතීම නැවත සිදුකරවීම සඳහා මාගේ පැල්පතේ මේ පුංචි ඉඩකඩ ‍ඔහුන් වෙනුවෙන් යොදාගන්නවා..."

ගීයෙන් පිටස්තර වූ පෞද්ගලික අදහසක් ‍පැල්පත වෙනුවෙන් මා හා ගලපා පැවසීම පිළිබද සමාව අයදින අතර ගීයක සැබෑ අරුථ කුමක් වුවත් යම් යම් පද පේලී තමාගේ ජීවිතයේ කිසියම් පරිඡේදයක් සදහා මනා ලෙස ගැලපෙන බවට හොදම උදාහරණයක් පෙන්වීමට හැකිවීම පිළිබද සතුටත් ඇතිවෙනවා. සැබැවින්ම එය ඔබටත් එසේම වනු ඇතැයි මා විශ්වාස කරනවා.

ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම සරසවි බිමකට අධ්‍යාපනය පැමිණි දෙදෙනෙකුගේ ආදරයක් හැගවෙන බව ගීත අසන්නන් හට ඒත්තු ගන්වා තිබෙනවා. ඒ පදවලින් මා හට හැගී යන්නේ එය පේරාදෙණිය සරසවියේ හෝ රජරට විශ්ව විද්‍යාලයේ සිදුවීමක් බවයි.
අන්තරා කොටස අවසාන වනවිට සමස්ත ගීතය පුරාම ඇදී යන්නේ අතීතයේ සිදුවූ සිදුවීමක් බව හැගී යන අතර එයට නිදසුන් ලෙස නුග ගස් පෙල තවමත් එලෙසම පවතින බවත් ඇයත් සමග සක්මන් කල මංමාවත් තුල තමන්ට අද මෙසේ යාමට සිදූවූ බවත් ගීය තුලින් හුවා දක්වා තිබෙනවා. නමුත් ඒ අතීතය සිහිනයක් දෝ යැයි අවසන් පදපේලිය තුලින් රචකයා විසින් දක්වා ඇත්තේ නැවත ආපසු යා නොහැකි ඒ අතීතය පිළිබද යලි සිහිගැන්වීමත් දුකක් වූ ලෙසනි...


:::ගීතය මෙතැනින් බාගන්න:::