෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"මේ නගරය..."


මේ නගරය මා ඔබ
මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුනු නගරයයි...//

වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

මේ නගරය...//

ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...

මේ නගරය...//



විශාල වැඩ අධික කාලයකට පසු පැල්පතට ගීයක් ගෙන ඒමට ප්‍රධාන හේතු කිහිපයක්ම යෙදුනා. ඉතින් ඒ හේතූන් සියල්ලන්නටම සරිලන, මෑතකදී අප අතරින් වියෝවූ අසාහය ගායන ශිල්පී මර්වින් පෙරේ‍රා මහතානන්ගේ ගීතයක් මෙසේ ඉදිරිපත් කිරීමට මා තීරණය කලා.
ගීයේ ආරම්භයෙන්ම මුණ ගැසීමක් හා ඉතා දුක්බර සමුගැනීමක් පිළිබඳ ඔහුන් හමුවූ නගරයක් සම්බන්ධ කරමින් අලංකාරව ඉදිරිපත් කරනවා. එමගින් මා හා ඔබ යනුවෙන් ආදරවන්තයින් දෙදෙනෙකුගේ හමුවීමක් හා වෙන්වීමක් ලෙස ශ්‍රාවක අප‍ට හැගෙන සේ පද රචනයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් පෙර මා විසින් සදහන් කරන ලද හේතූන් එකකට මෙම පද පේලී දෙක ගැලපෙන ආකාරය ගැන ඉදිරිපත් කිරීමටයි මේ සූදානම...
"වසරක පමණ කාලයක සිට අපට පිටස්තර වූ නගරයක, අප විසින් ඉගැන්වූ අපෙන් ඉගෙනුම ලත් දරුවන් පිරිසක් අද දවස වන විට ඔහුන්ගේ පාඨමාලා කාලය සාර්ථකව අවසන් කර විසිර යනවා. එය ඇඳුරුතුමෙකු ලෙස හදවතින්ම සංතෝෂ විය හැකි අවස්ථාවක් වුවත් ඔහුන් සමග ‍සහෝදරත්වයෙන් මිතුරුදමින් මෙන්ම ගුරුවරුන් ලෙස රැදී සිටි අපට ශෝකය මුසු සතුටු කදුලු වැගිරෙන මොහොතක් වූ බව කිවයුතුමයි. නමුත් ඒ හමුවීම ඔහුන්ගේ ජීවිතය සාර්ථකව වෙනස් වීමකට ලක් වූ බව ඔහුන් අවංකව පවසන්නේ නම් හා ඒ බව ඔහුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර අපට පෙන්ව‍න්නේ නම්, එය ඔහුන්ගෙන් ගුරු-ඇඳුරන් වූ අපට ලැබෙන තුටු පඬුරක් වනු නොඅනුමානයි..
මෙම මුණගැසීමත් සමුගැනීමත් හදවතට දැනුනු අවස්ථාවක් වූ බැවින්, පෙර කී සතුට මුසු ශෝකය හා හදවතින් අප පතනා වූ ඔහුන්ගේ අනාගතයට කරන සුභ පැතීම නැවත සිදුකරවීම සඳහා මාගේ පැල්පතේ මේ පුංචි ඉඩකඩ ‍ඔහුන් වෙනුවෙන් යොදාගන්නවා..."

ගීයෙන් පිටස්තර වූ පෞද්ගලික අදහසක් ‍පැල්පත වෙනුවෙන් මා හා ගලපා පැවසීම පිළිබද සමාව අයදින අතර ගීයක සැබෑ අරුථ කුමක් වුවත් යම් යම් පද පේලී තමාගේ ජීවිතයේ කිසියම් පරිඡේදයක් සදහා මනා ලෙස ගැලපෙන බවට හොදම උදාහරණයක් පෙන්වීමට හැකිවීම පිළිබද සතුටත් ඇතිවෙනවා. සැබැවින්ම එය ඔබටත් එසේම වනු ඇතැයි මා විශ්වාස කරනවා.

ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම සරසවි බිමකට අධ්‍යාපනය පැමිණි දෙදෙනෙකුගේ ආදරයක් හැගවෙන බව ගීත අසන්නන් හට ඒත්තු ගන්වා තිබෙනවා. ඒ පදවලින් මා හට හැගී යන්නේ එය පේරාදෙණිය සරසවියේ හෝ රජරට විශ්ව විද්‍යාලයේ සිදුවීමක් බවයි.
අන්තරා කොටස අවසාන වනවිට සමස්ත ගීතය පුරාම ඇදී යන්නේ අතීතයේ සිදුවූ සිදුවීමක් බව හැගී යන අතර එයට නිදසුන් ලෙස නුග ගස් පෙල තවමත් එලෙසම පවතින බවත් ඇයත් සමග සක්මන් කල මංමාවත් තුල තමන්ට අද මෙසේ යාමට සිදූවූ බවත් ගීය තුලින් හුවා දක්වා තිබෙනවා. නමුත් ඒ අතීතය සිහිනයක් දෝ යැයි අවසන් පදපේලිය තුලින් රචකයා විසින් දක්වා ඇත්තේ නැවත ආපසු යා නොහැකි ඒ අතීතය පිළිබද යලි සිහිගැන්වීමත් දුකක් වූ ලෙසනි...


:::ගීතය මෙතැනින් බාගන්න:::