෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"මතකේ හස‍රැල්"


කියන්නට බැරි තරම් ‍- ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් - සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් - ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් - සිප ගන්නකෝ මා දෙතොල්...

මතකේ හස‍රැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන දිනේ
ඔබ මා හැරදා ඇයිද ගියේ...

ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි...

ඔබ හා මා හමුවේනම්
ජීවිතය ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්

මතකේ හස‍රැල්...//


සුභම සුභ දවසක් අදත් පැල්පතට ගොඩවැදුනු හැමෝටම...ඉතින් දින කීපයකට පස්සේ අදත් අලුත් ලිපියක් අරගෙන තමයි පැල්පතට ආවේ.ගොඩක් අය චෝදනා කරල තිබුන පරණ ගීත පමණක් ද පැල්පතෙන් ඉදිරිපත් කරන්නෙ කියල, නමුත් පැල්පත කියන්නෙ ගීත පමණක් ඉදිරිපත් කරන ‍බ්ලොග් අඩවියක්ම නෙමෙයි. පැල්පතට ලැබෙන ලිපි හා ගීත බොහොමයක් අද දවස වෙනකොට අපිට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් වලින් සැදුම් ලත් ලිපි වෙනවා. ඉතින් කිසිම විටක එකම පරාසයකට පමණක් සීමා වෙලා ඇති ලිපි කියල කියන්න අමාරුයි. ඉතින් ඒ අදහස තවත් ‍‍වර්ධනය වෙන්න අද එකතු කරන ගීතය ඉවහල් වෙයි කියල මම හිතනවා. ගීතය තමයි "මතකේ හසරැල්" ගීතය ගායනා කරනු ලබන්නේ වර්තමාන තාරුණ්‍යයේ ඉතාම ජනප්‍රිය ගායකයෙක්, නර්ථන ශිල්පියෙක් හා සිනමා නළුවෙක් වන දුෂ්‍යන්ත් වීරමන් හා සුපිරි කටහඩකට හිමිකම් කියන උමාරා සිංහවංශ යන දෙපල විසිනුයි. මේ දෙප‍ලගේ විශිෂ්ඨ ගායනය හා ගීතයට මුසුකර ඇති සංගීතය නිසා අද වන විට ගීතය බොහෝසෙයින් ජනප්‍රියව තිබෙනවා.කෙතරම් ගීතය නැවුම් වුවත් නිතරම පැල්පතට ලැබෙන ගීත බොහොමයක මුසු විරහව මේ ගීය තුලත් එසැනින්ම තිබෙන බව නම් මුලින්ම කියන්න ඕනෙ. ගීතය ආරම්භයේ සිටම පෙම්වතාට සිතට දැනෙන දුක ව‍වාගත නොහැකි බව හා පෙම්වතිය මෙතරම් කුරිරු වූයේ මන්ද කියා අසයි. තම ජීවිතයේ සොදුරුම අවදියේ ඉතා දැඩිව ආදරය කල පෙම්වතිය අන්සතු වී ඇති බව හා එම මතකයන් සිතට කෙතරම් වද දෙනවාද යන්න ගීතයේ පදපේලි ගලපා ඇති අයුරින් රස විදින අපට
හැඟීයයි. නමුත් පෙම්වතා නිතර කියූ සේ පෙම්වතිය කුරිරු වී පලා ගියා නොව පෙම්වතියද එය සිදුකලේ සිත‍කින්‍ නොවන බව හා ඒ පිළිබඳ සමාව ගන්නා අයුරු පෙම්වතියගේ ගීපද පේලි තුලින් ඉදිරිපත්කරයි...
"සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි..."
පැල්පතට එකතු වූ ප්‍රථම යුග ගීතය, හා ප්‍රථම නව පරපුරේ ගීතය මෙය වන නිසා ගීතය පිළිබඳ අදහස් විශාල ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කරනවා. සුපුරුදු පරිදි අඩුපාඩු ඇත්නම් හා ගීතය පිළිබඳ තවත් අදහස් ඇතිනම් ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

::ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න::

"කවුරුවත් නැහැ කවුරුවත් නැහැ"



කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//


දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//

පොඩ්ඩක් විවේක තිබුනු වෙලාවක ‍ඔන්න ආවා පැල්පතට අලුත් ගීතයක් අරගෙන, පැල්පතට අලුත් වුනත් ගීතය නම් ටිකක් පරණයි. ගීත‍යේ සුවිශේෂී බව වෙනත් ගීත වල මෙන්ම අර්ථය හා සංගීතය තුල මනාව ගැබ් වෙලා තියෙනවා. මෙතෙක් අපි කතා කරපු ගීත වල බහුතරයක් ආදරය හා විරහව වැනි මාතෘකා ඔස්සේ තිබුනත් මේ ගීය ගායනා කරනු ලබන්නේ තම ජීවනෝපාය ලෙස පාරුවක් මගින් මිනිසුන් ගඟින් එතෙර කරන තොටියෙකුගේ දුක් ගැනවිල්ලක් පිළිබඳවයි. නමුත් මේ ගීතයේ අර්ථය පිළිබද තොටියාගේ දෙසින් බැලූ කල නිවැරදි වුවත් සිදු වී ඇත්තේ මෙතෙක් ගඟ හරහා පාරුවෙන් ගමන් කල මිනිසුන් හට ගඟින් එතෙර වීමට පාලමක් ගමට ලැබී ඇති බවයි. ගමට පාලමක් ලැබෙන විට සෑම‍ දෙනාම ඒ පිළිබඳ සතුටු වුවත් දුප්පත් ‍මේ තොටියාට නම් එය වාවාගත නොහැකි දුකක් වී ඇත. එයට හේතුව ලෙස ගීතය තුල දිනෙන් දින පාලම ඉදි වූ ආකාරයත්, අදවන විට කිසිදු කෙනෙකු තමාගේ පාරුවෙන් ගමන් කිරීමට නොයෙන බවත් සඳහන් කරන අතර ඔහු අතීතයේ පාරුවෙන් මිනිසුන් ගෙන ගිය ආකාරය සහ ඒ ගෙනයාමේදී ඇතිවන
අපහසුව පිළිබදවත් දැක්වීමට මනා පද පේලිකීපයකින් ගීතය අලංකාර කර ඇත. එනම්,
"දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා"
නමුත් ඒ කාලය වන විට ගමට අත්‍යවශය ව තිබූ මේ මිනිසා පිළිබඳ අද වන විට කිසිදු තැකීමක් නොකරන බව දැක්වීමට අවසාන පද කීපයෙන් මෙසේ සදහන් කරනවා
"මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ"
සමාජයේ දියණු වීම බහුතරයකට නිවැ‍රදි වුවත් ඒ දියණුව පිළිබඳ සාදාරනව දුක්වන යම් පිරිසක් ගැන ගායනා කරන එකම ගීතය මා දන්නා තරමින් මෙය වේ. ගීතය අමරසිරි පීරිස් මහත්මයගේ "ස්නේහයේ නගරයයි" ගීත ඇල්බමයේ
ඇතුලත් වන ගීතයක් වන අතර අමරසිරි පීරිස් මහත්මයාගේ මා ප්‍රියකරන ගීත අතර තවත් එක් සුවිශේෂී ගීතයක් ලෙසද මෙය සදහන් කිරීමට පුළුවන්. ඉතින් වෙනදා වගේම පැල්පතෙන් ගීත‍ය රසවිදල ඔබට දැනෙනඅදහස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

"හන්තානට පායන සඳ"


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//

සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා පැල්පතට ආපු හැමොටම ඉතින් වැඩ ගොඩාක් වැඩි දවස් ටිකක් තමයි ගෙවිල ගියේ. ඒ හින්දා පැල්පතට ගොඩ වදින එකත් ටිකක් අඩු වුනා. ඉතින් පැල්පතේ අය දැනටමත් දන්නව ඇති මමත් කන්ද උඩරට කෙනෙක් කියල. ඉතින් ගමේ වැඩිය ඉන්නෙ නැති නිසා ඒ පැත්ත මතක් වෙන ගීතයක් ඇහුනොත් ඒක හිතට ගොඩාක් දැනෙනවා. ඉතින් අද අරගෙන ආපු ගීතය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ ඉතාම අලංකාර ගීතයක් වෙනවා. මේ ගීතයේ සංගීත‍ය නිර්මාණය කරල තියෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වාදන කණ්ඩායම මෙහෙය වන්නා වන නාලක අංජන කුමාර මහතා විසිනුයි. ගීතය ගායනය කරන්නේ නම් අපි කව්රුත් හොදින් දන්නා අමරසිරි පීරිස් නම් අතිවිශිෂ්ඨ කලාකරුවා විසින්. ගීතය ඇතුලත් වන්නේ "නිල් කැට වැස්ස" ගීත ඇල්බමයේයි. මේ ගීත ඇල්බමය කිසිදු වෙළඳ ආයතනයක විකිණීමට නැති බවයි මගේ මතය. ගීත ඇල්බමයේ නිශ්පාදන කටයුතු සිදුකලේ මා දන්නා තරමින් දිවයිනේ විශිෂ්ඨ භෞතික විද්‍යාදේශකයෙකු වන මාගේ උසස් පෙල ගුරු කීර්ති ධර්මසිරි මහතායි. එතුමා නිසා ගීත‍ය දැනට වසර කීපයකට පෙර ඉතා රසවත් ලෙස මා හට ඇසීමට හැකීවූ බව කියන්නේ මහත් ආඩම්බරයෙන්...

ඉතින් ගීතය ගැන පැවසීමේදී ආරම්බයේදීම හන්තාන කදු පන්තියට පායන සඳ ගැනත් පසුව මහවැලි නදිය ගැනත් මතක් කර දීමේදී ගීතය විශ්ව විද්‍යාලයට සම්බන්ධ බව රසවිදින අපට හැගීයයි. විශ්ව විද්‍යාලය තුල ඇතිවන ආදරනීය හමුවීම්, හදවතට දැනෙන වෙන්වීම් ගැන කියැවූ ගීත අප කොතෙකුත් අසා ඇතත් මේ ගීතය ඒ අතරින් සුවිශේෂයි කියල කියන්න පුළුවන්. තමා සමග කලක් පෙමින් වෙලී සිටි ප්‍රේමවන්තිය අද තමා තනිකර වෙන අයෙකු වෙත ගොස් ඇතිබවත්, තමන් ආදරය කල අවදියේ ඇතිවූ මිහිරි මතකයන් සිතින් ඉවත් කර නව දිවිය සතුටින් ගෙවන ලෙස පෙම්වතා දුක්බර ලෙස පවසයි. මේ අදහස ගීතයේ ඉදිරිපත් කරන අයුරු කෙතරම් අපූරුද යන්න හැගෙන්නේ ගීතය අවසාන පද කීපය අප දෙසවනට ඇසෙන මොහොතේයි. ගීතය බොහෝ දෙනෙක් අසා ඇතැයි සිතනවා. එහෙත් මෙතෙක් ගීතය ලග නොමැති අයට පැල්පතෙන් ගීතය ලබා ගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම හැමදාම කියනවා වගේ අදහසක් දක්වලා ගීතයේ ඇති අඩුපාඩු පෙන්නලා දෙන්න කියල ආදරයෙන් මතක් කරනවා.


ගීතය පිළිබඳ ඉතා සාර්ථක අදහසක් තීර්ථ යාත්‍රිකයා විසින් පැල්පතට ‍එකතු කර ඇති අතර ඒ අදහසින් පසු මෙතෙක් මා තුල ගීතය ගැන තිබූ අදහසට යම් වෙනසකමක් ඇති වී ඇත. ඉතින් තීර්ථ යාත්‍රිකයා හට ස්තූති කරන අතර මගේ අදහස ද වෙනස් නොකර එලෙසම තබා ඇත. ඔබටත් ඔහුගේ අදහසින් ගීතය රසවිදින ලෙස ආරාධනා කරනවා...



::::ගීතය‍ මෙතනින් බාගන්න::::

"මවකගෙ උණුසුම නොලබා"


මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව ‍මැකේ...

හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හි‍නැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...

මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...

මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//
ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//


සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනාවා පැල්පතේ හැමෝටම දින කීපයක ඉදල දාන්න හිතාගෙන හිටපු ලිපියක් ඔන්න අද තමයි එකතු කරන්න හදන්නේ. ඇත්තටම ගීතය ගැන කියන්න කලින් ‍මෙම ගීතයේ නිර්මාණය වීම ගැන වචනයක් කියන්න ඕනෙ. ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක විසින්, ඒ වගේම ගීතය ගායනා කරන්නෙ කේ.කේ.සේන නම් කලාකරුවා විසින් ගායකයාගේ විශේෂත්වය වන්නේ මේ ඔහු ගායනා කරන එකම ගීතය වීමයි. ගීතය දුටු සැනින් අරුත ගැන යම් වැටහීමක් හිතට ඇති වුවත් ගීතයේ ඇති අලංකාරය හා අර්ථ රසය ගැන නම් කිව යුතුමයි. බිලිදෙකු මෙලොව එලි‍ය දකින මොහොතේ තමන්ගේ මව ‍මිය ගොස් ඇති අවස්ථාවක පියාට දැනෙන දුක සහ තම මව ‍නොදුටු මේ නොදරුවා සැපට නිදන අවස්ථාව ගැන ගීතයෙන් ඉදිරිපත් කරයි. මෙවන් වියෝවිමක් දැනට අප සමාජයේ ඇසීමට නොලැබෙන නමුත් එකල ‍මෙය වාවාගත නොහැකි සමාජයම කම්පා වන සිද්දියක් බව ගීතය ඇසීමේ දී අපට හැඟීයයි. මෙහිදී දරුවා සමග තනි වූ පියා අනාගතයේදී දරුවා අම්මා ගැන විමසීමේ දී හා තම පුතුගේ උපන් දිනය සැමරීමේ දී එ‍හි සතුට බුක්ති විදින අකාරය කෙසේද යන්න සිතමින් පසු තැවෙන අයුරු ගීතය තුලින් මතු වී
පෙනේ.කුඩා කල ගීතය අප උපරිමෙන්ම රස වින්දත් මේ ‍වන විට ගීතය ඇසෙන්නේ නැති තරම්. කෙසේ වුවත් ගීතය අප අතරින් ද වියෝ වීමට ඉඩ නොදී ඉදිරියටත් ගීතය අප හදවත් තුල තබා ගන්නට පැල්පතෙන් පුංචි ආරාධනාවක් කරනවා...


පැරණි, අමතක වී ගිය මේ අගනා ගීතය පැල්පතට එක් කරන්න නිතර මතක් කර දුන් කට්ටා සහෝදරයව ආදරෙන් මතක් කරන අතර ගීතයේ විස්‍තර මෙන්ම ඉපැරණි බව හදුන්වා දුන් තරිඳු සහෝදරයටත් පැල්පතෙන් හදපිරි ස්තූතිය පුද කරනවා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසුවන කට්ටා සහෝදරයාගේ මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර එළබෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන තරිඳු සහෝදරයටත් නිසැක ජයග්‍රහනය පැල්පතෙන් මෙලෙස ප්‍රාර්ථනා කරනවා.



::::ගීතය මෙතනින් බාගන්න::::