෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"සඳ කැන් වැටිලා"



සඳ කැන් වැටිලා අදුරේ එතිලා
ඝණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි...

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....

සඳ කැන් වැටිලා...

‍මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන හිදිමි බලා...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...

සඳ කැන් වැටිලා...


හොදයි පැල්පතට එකතු වුන අළුත් "කාමරයෙන්" මෙන්න පළවෙනි ලිපිය...
මුල්ම ගීතය විදියට මම තෝරගත්තේ විශාරද වික්ටර් රත්නායක මහත්මයගේ "සඳ කැන් වැටිලා" කියන ගීතය. ඇත්තටම ගීතය තෝරගන්න හේතු වුනේ මේ ගීතයේ තියෙන අර්ථයට හා සංගීතයටයි. ගීතය ගැන සරල අදහසක් මට දැනෙන විදියට ඔයාලට දෙන්න හිතුවා ඒත් අඩුපාඩු හා තවත් මෙයට එකතු වෙන්න ඕනෙ දේවල් තියෙනවනම් එකතු කරන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
"සඳ කැන් වැටිලා අදුරේ එතිලා - ඝණදුරු රෑ තනිකම නෑ" ඉතාම සරලව කිව්වොත් මෙයින් අපට මැවෙන රූපය නම් විශිෂ්ඨයි. රාත්‍රියේ සදේ එලිය වැටී ඒ එලිය අදුරත් එක්ක මුසුවෙලා හිතට තනිකමක් දැනෙන වෙලාවක, ඒ ඝණදුරු රාත්‍රිය කිසිම තනිකමක් නැති බව අගවනවා. එයිනුත් පසුව ඒ තනිකම නැතිවෙන්න, ඒ ඝණදුර නැතිවෙන්න නම් ඔහුගේ ජීවිතයට එළිය වුනු කෙනෙකුට ආරාධනාවක් කරනවා. නමුත් ඒ ආරාධනාව පිළිගනීද...?
ගීතයේ අන්තරා කොටසට පිවිසෙන කොට ගීතය රසවිදින අපට එහි අර්ථය මනාව පැහැදිලි වෙනවා...‍එය පෞද්ගලිකව මම මේ ගීතයේ ඉතාම ප්‍රිය කරන කොටසක් ද වෙනවා. තමන් ජීවිතයේ හදවතින්ම ආදරය කරන කෙනාගේ සිදුවන යම් වෙනස් වීමක් ගැන ඉතාම හැඟුම්බරව මෙයින් කියා සිටිනවා...එනම් මේ ලොව මාහට හිමි එහෙත් ඈට අයිති ඈගේ නෙත් වෙනත් කෙනෙකු, අසල්වාසියෙකු සොයනු ඇතැයි පැවසෙනවා...මෙම අදහස ගීතයට එක් කර ඇති අයුරු නම් විශිෂ්ඨයි...

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ..."

මෙවන් අත්දෑකිමක් නැතත් ඉතාම හොදින් සංගීතයත් සමග මේ ගීය රසවිදින්න පුළුවන් කියලයි ‍මගේ අදහස. ‍ඉතාම කෙටියෙන් සරලව මගේ ඇති අවම දැනුමෙන් මේ ගීතය ගැන කෙටි අදහසක් තමයි මේ විදියට ඔයාලට ලබා දුන්නේ. ඉතින් විචාරයක් ඉදිරිපත් කිරීම විවෘත හින්දා හැමෝටම ආරාධනා කරනවා අදහසක් දක්වන්න කියලා...

2010-11-26
ගීතය ඉදිරිපත් කර හරියටම 6 මසකට පසු නැවත නිවැරදිව සංශෝදනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මා ගීතය ඉදිරිපත් කර පසුව එහි සංගීතය හා පද රචනාව සිදුකල ශිල්පීන් පිළිබඳ සහෘද්ධ ඔබගෙන් ඉල්ලා සිටියා. ඉතින් වියත් ඔබගේ අදහස් වලින් ලිපිය සැකසීමේ දී මාහට සහය දැක්වූ ආගන්තුකයා ඇතුළු මාගේ සහෝදර අනෙක් ‍බ්ලොග් කරුවන්නට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

::::ගීතය මෙතනින් බාගන්න::::
::::ගීතයේ කෝඩ් මෙතනින් බාගන්න::::

11 මේ ගැන කියපු කථා:

This comment has been removed by the author.
 

ආදරය , සෙනෙහස, විරහව, අත්ම පරිත්‍යාගය
උජ්චාරණයෙන්ම හදවත සංවේදි වෙනවා
මෙ අතුරින් නොවිදි විදි සෑවොම විදිනව විරහව........
ලග එන කුණාටුව කාටත් කලියෙන්, විහගුන්ට සංවෙදී වෙනව වගෙ,
විරහව එකපාර්ශ්විකව දැනුනු සංවෙදී හදවතක කෑලබිල්ල
ගීතනුසරයෙන් නිර්මානය වුවකි "සද කෑන් වටිලා".....
මෙවනි නිර්මානයන් පෑල්පතින් විවරවීම
ආඩම්බරයට කරුණකි.................

 

@ Ashan
ගීතය ගැන සේම ජීවිතයට ද අදහස් දක්වන ඔබේ මේ අදහස තවත් පියවරක ආරම්භයක්ම වෙයි...!

 

ඔබේ මෙම විචාරය සංගීත කටයුත්තක් උදෙසා ඔබේ නම සහිතව භාවිතා කිරීම සම්භන්ධව අවසර පතමු...

ලංකා අක්ෂය

 

@ ලංකා අක්ෂය : ලංකා අක්ෂය තුල නිබද රසිකයෙකු වන මා හට එය මහත් වූ ආඩම්භරයක්. ඉතින් ඒ සඳහා මාගේ නොමද සහය ඔබට ලැබෙන බවත් ඒ පිළිබද පෙර දැනුම් දීමක් palpatha@gmail.com විද්යුත් ලිපිනයට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා..!

 

ගායනය - වික්ටර් රත්නායක
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

 

මට එක් සිද්ධියක් එක්ක ටිකක් සංවේදී වු ගීතයක්
පදවැලේ උච්චතම අවස්ථා දෙකක් තියෙනවා..
1. නිරන්තරයෙන් කියැවෙන තනිකම පිළිඹඳ කතාන්තරය
2. අන්තරා කොටස්වලින් දැක්වෙන ඇයගේ වෙන්ව යාම පිලිඹද කතාන්දරය
මූලිකව ආදරය තුල පවතින ඊර්ෂ්‍යාව සහ පරිත්‍යාගය මැනවින් පෙන්වා දෙන අන්තරා කොටස් දෙකට ප්‍රේමකීර්ති ගෙන් සැපයිලා තියෙනවා..

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"

උත්කෘෂ්ඨ පරිත්‍යාගයක් සහ ඇයට යන්නට අවැසි විටක් යන්නට දීම


"ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ"

දිය දිවිය පුරා ආදරය කල ඇය හීසරයක් වී ඇත. වේදනාව පෙන්වීමට මේ වදන් පේලි දෙක අසමත් නම් වෙනත් වදන් ඒ හා තරඟ නොවදිනු ඇත..

මේ මට අසුවුන තැන් කිහිපයක් පමණි.. පැල්පතෙන් සංවාදයක් විවෘත කිරීම ගැන රසිකට ස්තූතිය..

 

"මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා..."

ඔහු ඇත්තවශයෙන්ම ‍රහස් අහස් තලයට පවරා වෙන්වුනු බව මට මෑතකදී දැනගන්න ලැබුනා.

මෙම ගීතය රචනා වීමට වස්තු බීජය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේම අත්දැකීමක්. එය ඔහුගේම දිනපොතේ සඳහන්වන බව පැවසෙනවා. කෙතරම් අමිහිරි අත්දැකීමක් වුවත් ඔහු එය නිහඬව විඳ දරාගන්න ආකාරයි "මා නැත අන්සතු සිත් බිඳලා... දෑතම බැදගෙන හිදිමි බලා" ලෙස ඉදිරිපත් කරනවා.

ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති මහා කවියා නැතහොත් පද රචකයා සෑම දෙනාගේම ගෙෘරවාදරයට පාත්‍රවුවත් පවුල්ජීවිතය සම්බන්ධයෙන් ඔහු නොයෙකුත් ගැරහුම් වලට ලක්වූවෙක්. මෙම ගීතය, එහි අරුත සහ මෙහි වස්තුබීජය ඔහුගේ ජීවිතයට ඇති සම්බන්ධය දැනගැනීමෙන් වඩාක් සංවේදීව මෙම ගීතය රසවිඳන්න පුලුවන් වෙනවා.

අර්ථවත් ගීත පිළිබඳ අරුත් පැහැදිලිකිරීම් සහ විචාරයන් ලබාදෙන ඔබට සුතූතියි.

 

මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියල. ඒත් මේ ගීතයේ එන්නෙ සද කැන් වැටිලා නෙවෙයි. සද කැන් වැසිලා කියල.. බලන්න එක වචනයක් වැරදියට අරගෙන ඔබ ගීතයට මොන තරම් හානියක් කරල තියෙනවා ද කියල. සදේ කාන්තිය නැති වෙලා කියන අදහස තමයි තියෙන්නෙ.. විචාර කරන්න පුරුදු වෙන්න.. ඒක අවුලක් නෙවෙයි. ඒත් ඊට කලින් ගීතය හරියට අහන්න.. ස්තුතියි..

 

මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියල. ඒත් මේ ගීතයේ එන්නෙ සද කැන් වැටිලා නෙවෙයි. සද කැන් වැසිලා කියල.. බලන්න එක වචනයක් වැරදියට අරගෙන ඔබ ගීතයට මොන තරම් හානියක් කරල තියෙනවා ද කියල. සදේ කාන්තිය නැති වෙලා කියන අදහස තමයි තියෙන්නෙ.. විචාර කරන්න පුරුදු වෙන්න.. ඒක අවුලක් නෙවෙයි. ඒත් ඊට කලින් ගීතය හරියට අහන්න.. ස්තුතියි..

 

https://youtu.be/M979Z8l-1K4

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!